මාර්ග තදබදයට පිළියම් නැත්ද ? – Traffic Congestion Colombo Sri Lanka

0
707
Traffic-Congestion

මාර්ග තදබදය අද මේ රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න වලින් එකක්‌ බවට මේ වන විට පත්ව තිබේ. ඒ තරමට අද මාර්ග තදබදය අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයේ අංගයක්‌ බවට පත්ව තිබේ. දිනපතා මිනිස්‌ පැය ලක්‌ෂ ගණනක්‌ අහිමි කරමින් ඉන්ධන ලීටර් ලක්‌ෂ ගණනක්‌ පුච්චා දමන මේ මාර්ග තදබදයට හේතු හරිහැටි හඳුනාගෙන වහාම පිළියම් යොදන්නට කටයුතු නො කළහොත් කොළඹ නගරයේ රථවාහන ධාවනය කළ හැකි වේගය ඉදිරි සිවුවසර තුළ පැයට කිලෝමීටර් තුනත් – පහත් අතර දක්‌වා අඩුවනු ඇතැයි මේවන විට ප්‍රවාහන විශේෂඥයන් මෙන්ම රථවාහන පොලීසිය ද අනතුරු හඟවා තිබේ.

රථවාහන තදබදයට මහජනතාව බණින්නේ පොලිසියට ය. එය සාධාරණ වුවත් අසාධාරණ වුවත් පොලිසියේ ක්‍රියාමාර්ගය අඩු වැඩි වශයෙන් මාර්ග තදබදය සඳහා බලපා තිබේ.

බොහෝ ස්‌ථානවල පොලිසිය විසින් තමන්ගේ හිතුමතයට රථවාහන පාලනය කරන්නට කටයුතු කිරීම මාර්ග තදබදයට ප්‍රධාන හේතුවකි. දුරදිග නොබලා පොලිසිය කරන විවිධ අත්හදා බැලීම් නිසා මාර්ග තදබදය වැඩිවීම හැර අඩුවීම සිදු නොවේ. පොලිසිය දිනපතා විවිධ අත්හදා බැලීම් සිදුකරන්නේ ජනතාව ඉන් පත්වන අපහසුව ගැන කිසිදු තැකීමක්‌ නො කරමිනි. රුපියල් කෝටි ගණන් වැය කර සවිකරන ලද මාර්ග සංඥා ක්‍රියාවිරහිත කර දමා හිතු මතයට පොලිස්‌ නිලධාරීන් විසින් විනාඩි ගණනක්‌ එක පැත්තකට වාහන යවා අනික්‌ පැත්ත යවන්න හදන විට කිලෝමීටර් ගණන් රථවාහන තදබදයක්‌ අනෙකුත් මාර්ගවල ඇතිවීම වැලැක්‌විය නො හැක්‌කකි.

මාර්ග තදබදය අවම කරගන්නට රජයක්‌ ලෙස හැකි තරම් නව ක්‍රියා මාර්ග ගතයුතුව තිබේ. පොදු ප්‍රවාහන සේවාවන්හි පහසුකම් හා ක්‍රමවත් බව වැඩිකිරීම මගින් ජනතාව පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම, පාසල් හා කාර්යාල වේලාවන් වෙනස්‌ කිරීම, උදේ හයේ සිට උදේ නවය දක්‌වාත්, සවස හතරේ සිට රාත්‍රි නවය දක්‌වාත් ප්‍රධාන මාර්ගවල ලොරි, කන්ටේනර්, බවුසර්, ටිපර් ධාවනය තහනම් කිරීම, එම කාලය තුළ ප්‍රධාන මාර්ගවල මාර්ගය දෙපස වාහන නතර කර තැබීම තහනම් කිරීම, එක්‌ අයෙක්‌ හෝ දෙදෙනෙක්‌ ගමන් කරන වාහන කොළඹ නගරයට ඇතුළුවීම සඳහා අධික ගාස්‌තුවක්‌ අය කිරීම, වාහනයක සිවුදෙනකුවත් පැමිණෙන්නේ නම් අදාළ ගාස්‌තුවෙන් නිදහස්‌ කිරීම, මෝටර් සයිකල් හා ත්‍රීවීල් සඳහා මංතීරු නීති දවසේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කිරීම, ආදී නව ක්‍රියාමාර්ග වහාම ගත යුතු ය.

එසේම කොළඹ නගරයේ මාර්ග තදබදය ඇතිවන ස්‌ථාන කීපයකට ගුවන් පාලම් සවිකිරීම, කොළඹ නගරය උඩින් නගරය තුළ දිවෙන මොනොරේල් වැනි දුම්රිය පද්ධති මෙන්ම කොළඹ නගරය යටින් නගරය පුරා දිවෙන උමං දුම්රිය පද්ධතියක්‌ ඇතිකිරීම වහාම සිදු කළ යුතු ය.

එසේම මින් ඉදිරියට පොලිසිය විසින් නව රථවාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරනවිට එය මුලින් සති අන්තයේ හෝ පාසල් නිවාඩු කාලවල හෝ ක්‍රියාත්මක කර පසුව ක්‍රමයෙන් අනෙකුත් සාමාන්‍ය දිනවල ක්‍රියාත්මක කළ යුතුව තිබේ. අව්වේ වැස්‌සේ පැය විසි හතර පුරා පොලිසිය මහපාරේ ජනතාව වෙනුවෙන් සිදුකරන කාර්ය භාරයේ ප්‍රතිපල ජනතාවට දැනෙන්නේ එවිට ය.

– Divaina