පුතු නිදන්න පුතු නිදන්න සුවෙන් සැතපිලා ඉහ ඉද්දර මම ඉන්නම්…

0
573
gem-of-a-man

ඔහුට ගමෙන් ලියුමක්‌ ආව. ඒ අක්‌කගෙන්. ඔහුත් ලිපියක්‌ ලිව්වා. ලබන මාසෙ පෝයට ගෙදර එන බව කියල. ගාල්ලේ තෙළිකඩ ඔහුගේ ගම. කොළඹ මුද්‍රණාලයක අකුරු අමුණන රක්‍ෂාව තමයි වෘත්තිය හැටියට කළේ. මේ 1988-89 භීෂණ කාලේ.

ඔහුගේ නම අසේල. ඔහු දඩබඩගලා ලක ලෑස්‌ති වුණා. මාස හතර පහක පඩි සල්ලිත් එකතු කරපුව අරගෙන, ගෙදරට අඩුමකුඩුමත් අරගෙන පෝයදා ගාලු යන්න. අක්‌ක ලියුමේ නොලීවට අම්මට සනීප නැතුව ඇති, අසේල එහෙම කල්පනා කළා. පෝය දවස උදා වුනා. පිටකොටුවෙන් ගාලු බස්‌ එකට ඔහු ගොඩ වෙනකොට රාත්‍රි හත පමණ වුණා.

ෂා… මට අමතක වුණා අසේලගෙ ඉතිහාස කතාවකුත් තියෙනව කියන්න. කොටින්ම කිව්වොත් ඔහු සන්නද්ධ තරුණයෙක්‌. උසස්‌ පෙළ විභාගය ලියූ වහාම ගමේ ගොඩේ කොල්ලො අතුරුදන් වෙන කොට අම්ම තමයි කොළඹ ගිහිල්ල ජීවිතේ බේරගන්න කියල කිව්වේ. ඒ ගමට නම පටබැඳිල තිබුණෙත් වඩමරච්චිය කියල.

මේ ඒක නෙවෙයි ඔහු සන්නද්ධ තරුණයෙක්‌ කියල කිව්වේ මොකක්‌ද දන්නවද, ඔහු දැනුමෙන් සන්නද්ධයි. ඔහුත් එක්‌ක තර්ක කරල බේරෙන්න බෑ මේ ලෝකේ යකෙකු=ට. බුදුදහම තමයි ඇඟ පුරාම දිව්වේ. මිත්‍යා විශ්වාසවලට පහර පිට පහර ගහනව. තමන්ගේ කේන්දරේ කිතුවලට ඉරල පුච්චල දැම්මා. බුදුහාමුදුරුවෝ වගේ ග්‍රහ අපල තුට්‌ටුවට මායිම් කළේ නෑ. ඒව ගැන කියන්න ගියොත් දවසම යයි.

බස්‌ එක දඩල්ලට ළඟා වන විට රෑ දහය විතර වුණයි කියමුකෝ. ඕන් ඊට පස්‌සේ තමයි ගිනි විඡ්ජුම්බර නලිය නලිය ආවේ. බස්‌ එක දඩල්ල මිනී පිට්‌ටනිය කිට්‌ටුවදී හදිසියේ ක්‍රියා විරහිත වුණා. බසය තුළ ඒ වෙන කොට හිටියේ කීප දෙනයි. ඒ අය එක එක තාලෙට විකල්ප හොයාගෙන ගම් රටවලට ගියා.

මේ කාලේ හමුදාව හැම තැනම. නාඳුනන ඔත්තුකරුවෝ, රාජ්‍ය නොවන සන්නද්ධ කල්ලි වැහි වැහැපු කාලයක්‌. අසේල හිතුව පයින් පාරේ ගිහිල්ල නිකම් මොකටද මැරෙන්නෙ අර තියෙන්නේ රෑ පහන් කරන්න හොඳම නිදහස්‌ තැන කියල අඩියට දෙකට ඇදුණේ කොහේට ද දන්නවද, ඒ වෙනින් කොහේටවත් නෙවෙයි දඩල්ලේ සොහොන් පිට්‌ටනියට.

ඔහු දුටුව කාන්තාවක්‌ සහ තරුණයෙක්‌ බාගෙට පුළුස්‌සල දාල තියෙනව. ඔහු ඒ මළ මිනීවල හිස අත ගාල තවත් ඇතුළට ගියා. ඔහු දුටුව රෑට නිදාගන්න අපූරු තැනක්‌ ඒ මිහිදන් කළ අම්ම කෙනෙකුගෙ බැඳපු සොහොනක්‌. අම්ම කෙනෙක්‌ ළඟ ඉන්න එක කොච්චර වාසනාවක්‌ද කියල හිත හිතා ඔහු අම්මගෙ තුරුළේ නිදන්න වගේ සොහොන මත හාන්සි වුණා.

ඔහු ගෙදර ගැන අම්ම, අක්‌ක ගැන නංගි ගැන කල්පනා කළා. අද ඒ අය හොඳටම බයවෙලා ඇති කියලත් හිතුණා. ඒත් අංජනම් එළි බලලවත් තමන් සිටින තැන ඒ අයට දැනගන්නට බැහැ නේ කියල හිතුව. සමහරු සාස්‌තර අහනව. අපේ අම්මත් ඉස්‌සර ඒවට කැමතියි. අපේ ගෙදරින් අංජනමක්‌ බලන්න ගියොත් මම මෙතැන ඉන්න බව තක්‌කෙටම දැන ගත්තොත් කියැකි. අංජනම් එළියකින් ඇත්ත කියන්න මට වෙච්ච සිද්ධිය කවුරුහරි ගිහිල්ල අංජනම් කාරයගේ කනේ තියන්ට ඕන.

අසේල එහෙම හිත හිත ඉන්න කොට ඔහුට අම්මගෙ තුරුළේ නින්ද ගියා. පහුවදා උදේ පාන්දරම ඔහුට ඇහැ ඇරුණට ඔහු පාරට බැස්‌සෙ නෑ. හොඳට එළිය වැටුණට පස්‌සෙ අර සොහොන් කොතේ තිබුණු මියගිය මවගෙ පින්තූරේ ඉඹල ගෙදර යන්න පිටත් වුනා.

* අශෝක කාරියවසම්
– Divaina