දරුවන්ටත් ආතතිය – Tension with children

0
800
child-tension

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්ව ඇත. අවුරුද්ද ආරම්භයේ සිටම දෙමව්පියන් විසින් දරුණු පීඩනයකට ලක් කළ දරුවන් දැන් නැවතත් ඔවුන් ලැබූ ප්‍රතිඵලයත් සමග පීඩාවට ලක් කරන මොහොත එළැඹී ඇත. ඒ ඔවුන් ලැබූ ප්‍රතිඵලවල තත්ත්වය අනුවය. නමුත් කිසිසේත්ම දරුවන් යනු එවැනි පීඩනයකට ලක් කළ යුතු පිරිසක් නොවේ. ඇත්ත වශයෙන්ම දරුවන් යැයි කී පමණින් ඔබේ මතකයට නැගෙන්නේ විනෝදය, කෙළි සෙල්ලම් සමග දිවි ගෙවන අහිංසකයන් නොවේද? නමුත් ඔබ මොහොතකටවත් හිතුවාද, මෙසේ සැහැල්ලු මනසකින් ජීවත් වෙනවා යැයි අප සිතන දරුවා තුළ අද දවසේ ‘ආතතිය’ නම් විෂඝෝර සර්පයා සැඟවී සිටින බව? විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් අසීමිත පීඩනයකට ලක් කිරීම තුළ අප රටේ දරුවන්ද ශීඝ්‍රයෙන් මේ තත්ත්වයට පත්ව සිටින බව පෙනී යන කරුණකි.වර්තමාන සමාජයේ ‘ආතතිය’ කියූ පමණින් සිහියට නැගෙන්නේ වැඩිහිටියන්ය. නමුත් ප්‍රංශයේ Kids Health’  ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව වර්තමානය වන විට ‘ආතතිය’ තත්ත්වයෙන් පීඩා විඳින ප්‍රමාණය ළමුන් අතර ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඔවුන් පවසන ආකාරයට වැඩිහිටියන් හා සාපේක්ෂව ගත් කල දරුවන් මුහුණෙහි හැඟීම් මගින් ආතතිය පිටකරන ප්‍රමාණය අඩු වේ.    නමුත් දරුවන් සමග කරන ලද සමීක්ෂණයකට අනුව ලැබි ඇති ප්‍රතිඵල මත පැහැදිලි වන්නේ දරුවන්ටද ඔවුන්ගේම ගැටලු ඇති බවයි.

වැඩිහිටියන් ලෙසට ළමුන් ද විවිධාකාරයට තමන්ගේ ආතතිය සමග ගනුදෙනු කිරීමට පෙළඹෙන බව පෙනේ. ඇතැම්හු එම ආතතිය සමග නිසි ලෙස සටන්කර ජය ලබා ගන්නා අතර ඇතැමෙක් එම සටනින් පරාජය උරුම කර ගනිති. ඉහත සඳහන් කළ Kids Health’  ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව දරුවන් අතර පවතින ආතතිය තත්ත්වයෙන් පීඩා විඳින සංඛ්‍යාව පෙර නොවූ ලෙස මෙම වසරේදී ඉහළ ගොස් ඇත. එසේම එය ඉදිරි වසර පහ තුළ දෙගුණයකින් වර්ධනය වීමට ඉඩ ඇති බවටද ඔවුහු අනාවැකි පළ කරති. Kids Health’  සමීක්ෂණ  වාර්තාවෙහි සඳහන් වන ආකාරයට ආතතියෙන් නිරන්තර පෙළෙන දරුවෝ ස්වභාවයෙන්ම විවිධාකාර ක්‍රමවේදයන් යොදාගෙන ආතතිය මගහරවා ගැනීමට පෙළඹෙති. නමුත් එම ක්‍රමයන් සාර්ථක වී ආතතිය තත්ත්වයෙන් මිදීමට හැකිවන සංඛ්‍යාවට වඩා තමන්ගේම මනස සමග කරන්නා වූ සටනින් පරාජය අත්විඳින දරුවන් ගණන බොහෝ සෙයින් වැඩි වේ. එවිට දරුවා අනාගතයේදී මානසික රෝගියකු බවට පත්වීමට ඇති ඉඩකඩ ප්‍රතිශතයද වැඩි වන බව එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. ඔවුන් සඳහන් කර ඇති අන්දමට මේ ආකාරයට ලොව පුරා ළමුන්, ආතතිය නම් භයානක තත්ත්වයට ගොදුරු වීම විවිධ හේතූන් නිසා සිදුවේ. එම හේතූන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉහළ සාමාර්ථ ලබා ගැනීම, පාස‍ලේදී ලබා දෙන පැවරුම්, වෙනත් පාසල්වලට ඇතුළත් වීම සඳහා ඇති තරග විභාග වැනි කාරණාය.

‘Kids Health’ සමීක්ෂණ වාර්තාවට අනුව ආතතියට ගොදුරු වන දරුවන්ගේ හැසිරීම් රටා ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගනී. බොහෝ විට දෙමාපියන් එසේ දරුවන් ප්‍රකට කරන්නා වූ අසාමාන්‍ය ගති පැවතුම් සාමාන්‍ය ලෙස සලකා බැහැර කරනු දක්නට ලැබේ. එයින් සිදුවන්නේ දරුවන් ආතතියේ උපරිමය දක්වා පැමිණීමයි. මෙම හේතුව නිසා Kids Health’  ආයතනය දෙමාපියන් වෙත මෙහි වැඩි වගකීම පවරා ඇත. එනම්, දරුවන්ගේ ආතතිය ලක්ෂණ ප්‍රථමයෙන් හඳුනාගත යුතු වන්නේ දෙමාපියන් බවට ඔවුන් පවසා ඇත.

එම නිගමනයට බලපා ඇති කරුණු දෙකක් සමීක්ෂණ වාර්තාවෙන් එළිදක්වා ඇති අතර, ඒවායින් එක් කරුණක් වන්නේ සාමාන්‍ය දරුවෙකුගේ කාලය ප්‍රධාන වශයෙන් කොටස්වලට බෙදුව හොත් එය පාස‍ලේදී ගත කරන කාලය හා තම නිවසේදී ගත කරන කාලය ලෙස දෙයාකාර වේ. මෙහිදී දරුවා පාස‍ලේදී ගත කරන කාලයට වඩා නිවසේ ගත කරන කාලය ප්‍රමාණයෙන් බොහෝ වැඩිය. එනිසා මව්පියන්ට තම දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් ගැන වැඩි වශයෙන් දැන ගැනීමට ලැබේ. මෙහි අනෙක් කරුණ ලෙස ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තම දරුවාගේ චර්යා රටා හොඳින් හඳුනන්නේ දෙමාපියන් බැවින් එවැනි හැසිරීමේ වෙනස්කම් දෙමාපියන්ට එක්වරම ග්‍රහණයට හසුවීමේ ඉඩකඩ වැඩි බවයි. එබැවින් ඔවුන් සරලව දක්වන්නේ දරුවන්ගේ ආතතිය තත්ත්වය සමනය කර ගැනීම සඳහා උපකාරී වීම එම දරුවන්ගේ දෙව්පියන්ගේ වගකීමක් වන බවයි.

Kids Health’  ආයතනය තම පරීක්ෂණය සඳහා විවිධ වයස් කාණ්ඩවල දරුවන් යොදාගෙන ඔවුන් ආතතියට පත් වූ විට ප්‍රකට කරන හැසිරීම් නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණයේ ප්‍රතිඵලය පහත දැක්වෙන පරිදි වේ.

52% – සෙල්ලම් කිරීම හෝ වෙනත් ක්‍රියාකාරකමක යෙදීම.
44% – සංගීතයට ඇහුම්කන් දීම.
42% – රූපවාහිනිය නැරඹීම.
30% – යහළුවකු සමග කතාබහ කිරීම
26% – යම් ආහාරයක් ගැනීම.
23% – කේන්තිය මොනයම් ආකාරයකට හෝ පිට කිරීම.
22% – දෙමාපියන් සමග ගැටලුව කතාබහ කිරීම.
11% – හැඩීම.

මෙම සමීක්ෂණය සඳහා සහභාගි වී ඇති දරුවන් අතරින් බොහෝ පිරිසක් තමන් ආතතියට පත් වූ විට ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් කීපයක යෙදෙන බව ‘ම්ඪඤඵ ඩ්ඥචතබඩ’වාර්තාවේ සඳහන් වේ.

මෙහි ඇති භයානක බව වන්නේ සමීක්ෂණයට සහභාගි වූ දරුවන් අතරින් 25ක ප්‍රමාණයක් ආතතියට පත්වූ විට තමන්ටම හානි පමුණුවා ගැනීමය. එනම් ඔවුන් හිස බිත්තියේ හප්පා ගැනීම, තමන්ටම පහර ගසා ගැනීම, අත සපා ගැනීම ආදිය සිදු කර ගැනීමට නැඹුරු වීමයි. එසේම ඉහත සමීක්ෂණයේ නිගමනයක් ලෙස දක්වා ඇත්තේ 75ක ළමුන්  ප්‍රමාණයක් ඔවුන් ආතතියට පත් වූ විට දෙමාපියන්ගේ උපකාර අවශ්‍ය යැයි දැනෙන බව ප්‍රකාශ කර ඇති බවයි.

මේ අනුව දෙමාපියන්ගේ කර මතටද විශාල බරක් පැටවෙනු ඇත. එම වගකීම සපුරාලීම සඳහා දෙමාපියන්ට ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් වෙත අවධානය යොමු කිරීම වැදගත් වේ.
ඔබේ දරුවා තේරුම් ගන්න

දරුවෙකු හොඳින්ම හඳුනන්නේ ඔහුගේ මව සහ පියාය. මෙහිදී ‘හැඳිනීම’ යනුවෙන් අදහස් කරන්නේ එම දරුවාගේ ස්වාභාවික චර්යා රටාය. දරුවා හැඟීම් පිට කරන ආකාරය දෙමාපියන්ගේ අවධානයට ලක් විය යුතු වේ. එවිට යම් කාලයක් තුළ දරුවාගේ මෙම ස්වාභාවික හැසිරීම් රටාවේ යම් වෙනසක් වී නම් එය ඔහුගේ දෙව්පියන්ට දැනිය යුතු වේ. මෙහිදී නිදසුනක් ලෙස දරුවාට පෙර නොවූ විරූ ලෙස කේන්ති යන්නේ නම් හෝ ඔහු එක්වරම පෙර නොකළ ලෙස පාසල් යාමට අකමැත්තක් දක්වන්නේ නම් එය දෙමාපියන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. එවිට දරුවා සමග කතාබස් කිරීමෙන් ඔහු පෙළෙන ගැටලුව හඳුනාගත හැකි වේ.

මෙහිදීද යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැක. එනම් ඇතැම් දරුවන් එක්වරම තම දෙමව්පියන් සමග ගැටලු තත්ත්වය පිළිබඳ කතාබහ කිරීමට අකැමැත්තක් දැක්වීමයි. එවිට ඔහුට හෝ ඇයට තමන් සමග කතාබහ කිරීමට බල කිරීමෙන් වැළකිය යුතුය. ඒ වෙනුවට තමන්ගේ දරුවා සමග වෙනත් ආකාරයට කාලය ගත කිරීම සුදුසු වේ. එනම් ඔහු සමග මිදුලෙහි, කුස්සියෙහි යම් කාර්යයක් කිරීම. (කේක් ගෙඩියක් සෑදීම, වල් පැළ ගැලවීම) තවද නිදහස් තැනකට රැගෙන යාම (මුහුදු වෙරළ) ආදිය කළ යුතුය. එවිට එම දරුවා ස්වේච්ඡාවෙන්ම තම ගැටලුව දෙමාපියන් හමුවේ පවසන බව සමීක්ෂණයෙන් පැහැදිලි වේ.

ගැටලුව පවසන විට උනන්දුවක් පෙන්වීම.

දරුවා ගැටලුව පවසන විට ඔහුට කතා කිරීමට සුදුසු පරිසරයක් හා මානසිකත්වයක් තැනිය යුතු වේ. සැරවැර කිරීම, එසේ කිරීමට හේතු විමසීම, තමන් කලකිරෙන බව පෙන්වීම, පුදුම වූ බව පෙන්වීම ආදිය කිරීමෙන් දරුවා පසුබෑමට ලක්වී තවත් ආතතියට පත්වේ. එබැවින් කුමන දෙයක් පැවසුවද ඒ පිළිබඳ තමන් උනන්දුවෙන් සවන් දෙමින් සිටින බව දරුවාට ඒත්තු ගැන්වීම වැදගත්ය.
තමන්ගේ අත්දැකීම් දරුවා සමග බෙදාහදා ගැනීම.

මේ මගින් අදහස් කෙරෙන්නේ දරුවා ගැටලුව පැවසූ විට ඔහුගේ සිත සැනසීමට කාරණා පැවසීමය. තමන්ටද තම කුඩා කාලයේදී මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව දරුවාට පැවසීමෙන් ඔහුගේ සිතෙහි අසහනය දුරු කළ හැකි වනු ඇත. තමන් එම ගැටලුවලට මුහුණ දුන් ආකාරය දරුවා සමග බෙදාහදා ගැනීමද ඉතා වැදගත් වනු ඇත. එවිට ඔහුගේ සිතෙහි යටපත් වෙමින් පවතින ආත්ම විශ්වාසය නැවත ඉස්මතු වනු ඇත.
ගැටලුවට විසඳුමක් සෙවීම.

මෙම පියවරේදී කළ යුත්තේ දෙමව්පියනුත් දරුවාත් යන දෙපිරිසම එක් වී ගැටලුවට විසඳුමක් සෙවීමයි. මෙහිදී මුලින් දරුවාට සිතෙන විසඳුම් මොනවාද යන්න ඇසිය යුතු වේ. ඉන්පසු ඒවායේ අඩුපාඩුකම් ඇත්නම් ඒවා පෙන්වා දී දෙදෙනාම එක්වී වඩාත්ම සාර්ථක විසඳුමක් සොයා ගත යුතුයි. මෙම පියවරේදී දරුවා සමග සුහදව සාකච්ඡා කිරීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
විසඳුම ක්‍රියාවට නැගීමට දරුවාට සහය වන්න.

අවසාන පියවර ලෙස කළ යුත්තේ දරුවාට අවශ්‍ය ධෛර්යය, ශක්තිය ලබා දීමයි.
මේ ආකාරයට ලොව පුරා දිනෙන් දින ඉහළ යන ළමාමානසික ආතතියෙන් ඔබේ දරුවා මුදවා ගැනීමට නම් මූලික විය යුත්තේ වෙන කිසිවෙකු නොව ඔබම වේ. දෙමව්පියන් වශයෙන් ඔබ ඔබේ දරුවාට ශක්තියක් විය යුතු බව මතක තබා ගත යුතුය.

(Sciences Humanesප්‍රංශ සඟරාව ඇසුරිනි.)