කොණ්‌ඩ රැවුල් ක්‍රිකට්‌ කලාවට අර්ජුනගෙන් දෝස්‌මුරයක්‌

0
558
arjuna

පකිස්‌තානයේ හිටපු සුපිරි පිතිකරුවකු වූ ජාවෙඩ් මියෑන්ඩාඩ් ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට්‌ තරගයකදී දැවී යාමෙන් පසුව ක්‍රීඩාගාරයට යද්දී ප්‍රේක්‍ෂකයකු කියු කතාවකට රතු ඉර ඉක්‌මවා යැමෙන් කෝපාවිශ්ට විය. පසුව මියෑන්ඩාඩ් පිත්තත් උස්‌සාගෙන ඒ ප්‍රෙAක්‍ෂකයා පසු පස එලවා ඇත. මියෑන්ඩාඩ්ට “හයි ස්‌පීඩ්” කේන්තියක්‌ ආවේ කෙසේද? ඒ ගැන පාලිත පෙරේරා සොයා බැලුවේය.

“අර්ජුන රණතුංග මට බැට්‌ කරන්න දුන්නෙම නැහැ. එක එක දේවල් කියනවා. බැරිම තැන මම එයාට කිව්වා උඹගෙ බඩ හරියට බඩ දරු අම්ම කෙනෙක්‌ගෙ වගේ කියලා. ඒකට අර්ජුන මට කියපු කතාවට තමයි ඒ තරම් තද වෙලා හිටියේ.” යනුවෙන් මියෑන්ඩාඩ් පාලිත පෙරේරාට කියා තිබේ. අර්ජුන විසින් මියෑන්ඩාඩ්ට තද වෙන්න කියූ දැ පාලිත පෙරේරා……. නොකියුවද ඒ කතාව සභාව මැද කියන විට අර්ජුනද එහි සිනහවෙමින් සිටියේය. මේ රස වෑහෙන කතාව සිදුවුණේ දිවයින සමාරම්භක ක්‍රීඩා කර්තෘ සහ සම කර්තෘවරයා වූ අසෝක ගුණතිලක විසින් රචිත “පළමුවෙනියා” කෘතිය එළි දැක්‌වීමේ උළෙලේදීය.

අසෝක ගුණතිලක මහතාගේ පෑනේ සටහනකට එරෙහිව අර්ජුන එදා උසාවි ගියේය. ඒ යට ගිය කතාව මතක්‌ කරමින් අර්ජුනද අපූරු කතාවක්‌ කළේය. ඒ කතාවේදී පරිපාලනය, ක්‍රීඩකයා, අතීතය සහ අනාගතය ගැනද අර්ජුන විනාඩි කිහිපයක්‌ තුළ රසවත් කතාවක්‌ කළේය. ඒ කතාවේදී ඇතැම් ක්‍රීඩකයන්ගේ නම් නොකියූවද ඔවුන්ගේ විලාසිතාවන් අර්ජුන පතුරු ගැසුවේය. ඒ අපේ රටට ආවේනික ගති පැවතුම් ඔස්‌සේ නොගොස්‌ පිටරටින් අහුලාගත් දැ සමග අපේ ක්‍රිකට්‌ පිරිහීමේ ආරම්භය ගැනද මතක්‌ කරමිනි.

“අපි එදා කළේ ක්‍රිකට්‌ ගහපු එක විතරයි. පරිපාලනයට ගියේ නැහැ. අද ක්‍රීඩකයන් යනව පරිපාලනය කරන්න. පරිපාලකයන් හදනවා ක්‍රිකට්‌ ගහන්න. ක්‍රිකට්‌ විතරක්‌ නෙමෙයි සමස්‌ත ක්‍රීඩාව පහත වැටිලා. මේකට හේතුව ක්‍රීඩාව දේශපාලනීකරණය වීමයි.” යනුවෙන් අර්ජුන කතාව පටන් ගත්තේය.

දේශපාලකයන් පරිපාලනයට ඒම සහ ක්‍රීඩාව දේශපාලනීකරණය වීම යනු දෙකක්‌ බව පැවසූ අර්ජුන, “වර්තමානයේ ක්‍රීඩකයන් කියන්නෙ මුදල් ඉස්‌සරහින් තබාගෙන ඉන්න පිරිසක්‌ බවට පත්වෙලා. මේ ක්‍රමවේදය නවත්වන්න වැඩපිළිවෙලක්‌ ඕන.” යනුවෙන්ද පැවසීය.

අර්ජුන රණතුංග වත්මන් රජයේ වරාය අමාත්‍යවරයා වුවද ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන ඇස ගසාගෙන සිටියි. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මුල අගද ඔහුට හොඳට මතකය. එබැවින් ක්‍රිකට්‌ කාක්‌කන් ගැන හොඳින් දන්නා පුද්ගලයා අර්ජුන රණතුංග විය හැකිය.

අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයා ලෙස පත්ව සිටි යුගයේ අයි.පී.එල්. තරගාවලිය පිළිබඳව ඔහු දැඩි ස්‌ථාවරයක සිටියේය. එදා ශ්‍රී ලංකා කණ්‌ඩාමට එංගලන්තයේ සංචාරයක්‌ තිබුණි. නමුත් එම සංචාරයට යැමට ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයන්ට අවස්‌ථාවක්‌ නොතිබුණි. ඒ අයි.පී.එල්. කොන්ත්‍රාත්තුව නිසාය. නමුත් අර්ජුනගේ ස්‌ථාවරත්වය වෙනස්‌ කරන්නට දේශපාලනය කරළියට ආවේය. එදා අර්ජුන පැරදුනේය. ක්‍රීඩකයන් ජය ගත්තේය. දැන් ජය පැරදුම කෙසේ වෙතත් රටේ ජයග්‍රහණය වෙනුවෙන් අර්ජුන හතර වටේටම පහර දෙන්නට පටන් ගෙන ඇති සෙයකි. ඒ ඔහු සතු දේශපාලන බලය සහ ක්‍රීඩාවට ඇති ඇල්මද එක්‌කොට විය හැකිය.

“අයි.පී.එල්. වැනි තරගවලින් ක්‍රීඩාව විනාශයට පත්වෙලා. මේ රටේ දේශපාලනඥයෝ තමයි ක්‍රීඩකයන්ව ඒ තත්ත්වයට පත්කළේ. තමන්ගෙ රටට ගහන්නෙ නැතුව අයි.පී.එල්. ගහන්න යන්න කියල කිව්වෙ දේශපාලනඥයන්. ගාමිණී ලොකුගේ ක්‍රීඩා ඇමැතිවරයා තමයි මුලින්ම එහෙම කිව්වෙ.” අර්ජුන පවසයි.

එදා විනයක්‌ තිබ්බා. අපි ක්‍රීඩා කරන කාලේ පරිපාලනය කරන්න ගියේ නැහැ. අපි කළේ ක්‍රීඩා කරන එක විතරයි. අද පරිපාලකයො ක්‍රීඩා කරන්න හදනවා. ක්‍රීඩකයො පරිපාලනය කරන්න හදනවා. මේ රට ලෝකයේ ජනප්‍රිය වුණේ තුන් පැත්තකින්. එක්‌කො සිරිමාවෝ මැතිනියගෙන්. නැතිනම් යුද්ධයෙන්. අනෙක්‌ කාරණය තමයි ක්‍රීඩාව. ඒ නිසා ක්‍රීඩාව ඉදිරියට රැක ගැනීමට විශාල වැඩ කොටසක්‌ තියෙනවා කරන්න.”

“මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා. අද විනය සමහරුන්ගෙ නැත්තටම නැතිවෙලා. රැවුල් වවාගෙන, කොණ්‌ඩ වවාගෙන. පච්ච කොටාගෙන. ක්‍රිකට්‌ ගහනවා. අපේ රටේ සංස්‌කෘතියක්‌ තියෙනවා. අපි ඒ සංස්‌කෘතියට අනුව හැඩ ගැසිය යුතුයි. මේ රටේ සංස්‌කෘතිය නැති කරන්න බැහැ පිටරට දේවල් කොපි කරලා. අපි පිටරටවලින් හොඳ දේ අරගෙන නරක දේ අයින් කරන්න ඕන. පිට රට සංස්‌කෘතිය අපිට අවශ්‍ය නැහැ.”

වත්මන් ලෝක ක්‍රිකට්‌ පිටියේ නම් දැරූ බොහෝ ක්‍රීඩකයන් පච්ච කොටාගෙන ක්‍රීඩා කරන අයුරු අප දැක තිබේ. ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි සහ හිටපු ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ ඒ අතර විශේෂ තැනක්‌ ගනී. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර මෙන් ලොව තවත් සුපිරි ක්‍රීඩකයන් ඒ විලාසිතා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ නමක්‌ දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ඒ විලාසිතා ශ්‍රී ලංකානුවන්ට කෙසේ ගලපාගත යුතුද යන්න අර්ජුන සිය මතය ඉදිරිපත් කළේය.

“අපි එදා එංගලන්තෙ කට්‌ටිය ක්‍රිකට්‌ ගහන දිහා බලන් හිටියා. ඔස්‌ටේ්‍රලියාව ගහන හැටි බලන් හිටියා. හැම දෙනාම ක්‍රිකට්‌ ගහන හැටි බලන් ඉඳල සමහර දේවල් ඉගෙන ගත්තා. එහෙම ඉගෙන විනයක්‌ තියාගෙන වැඩ කරපු නිසා තමයි අපි ලෝක ශූරතාව දිනුවෙ.”

“එදා ටයි එක ඇඳගෙන කෝට්‌ එක දාගෙන තමයි අපි එංගලන්තයෙන් බහින්නෙ. අද අපේ කණ්‌ඩායම ටීෂර්ට්‌ එක ඇඳගෙන යනවා සංචාරවලට. ඒකට ක්‍රීඩකයන්ට දොස්‌ කියල වැඩක්‌ නැහැ. එහෙම වුණේ පරිපාලකයන්ගෙ වරදින්. අද සෘජු තීරණ ගන්න කොට ජනප්‍රිය පුද්ගලයා බවට පත්වෙන්නෙ නැහැ. නමුත් තමන් හැම තිස්‌සෙම බලන්න ඕන රට ඉස්‌සරහට තියලා තමන් දෙවැනියට ඉඳගෙන වැඩ කරන්න.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායම පරාජයන් වැලකට හසුව තිබේ. සිය මව්බිමේදීම පකිස්‌තානයට සහ ඉන්දියාවට එරෙහිව පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නැංගුරම් බවට පත්ව සිටි කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධනද දැන් ක්‍රිකට්‌ පිටියට සමුදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද අර්ජුන රණතුංග අදහස්‌ දැක්‌වීය.

“පහුගිය කාලෙ අපේ අය වාර්තා තියන ක්‍රීඩකයන් හැදුවා. අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නෙ. කණ්‌ඩායම ඉතාමත් නරක තත්ත්වයකට වැටුණා. කවුද මේවට වගකියන්න ඕන. ඒ නිසා ඉදිරි අවුරුදු පහේදී මේ දේවල් වෙනස්‌ කරන්න නව ක්‍රීඩා ඇමැතිතුමා පියවර ගත යුතුයි.”

කෙසේ වෙතත් අර්ජුන රණතුංග ඉදිරි ක්‍රිකට්‌ නිලවරණයට තරග කිරීමේ සූදානම් තිබුණද ඔහු ඒ ගැන තවම ස්‌ථිර නිගමනයකට පැමිණ නොතිබේ.

අසෝක ගුණතිලක මහතා විසින් ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රය මවිත කළ ශ්‍රී ලංකා ක්‍රීඩා තරු විසි දෙනකු ගැන “පළමුවෙනියා” කෘතියේ ඇතුළත්ය. ඒ අතර අර්ජුන රණතුංගද පළමුවෙනියකු වේ. “වරායෙ කොච්චර වැඩ තිබුණත් අපි ගැන ලියපු අසෝක ගුණතිලක මහතාගේ කෘතියට නෑවිත් බැහැ. ඒ නිසා තමයි කොච්චර වැඩ තිබුණත් ආවෙ.” යනුවෙන් ආරම්භයේදීම පවසමින් අර්ජුන ඉහත කතාව දිග හැරියේය.

අසේල විතාන
Source : Divaina