ත්‍රිවංක සහ දිමිත්‍රි

0
1165
beggers

ත්‍රිවංක ගාල්ලේ දොඩංගොඩ ප්‍රදේශයේ තරුණයෙක්‌. ඔහු එවකට බාහිර උපාධිය හදාරමින් තමයි හිටියේ. දිමිත්‍රි කියන්නේ බද්දේගම ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි තරුණියක්‌. ත්‍රිවංකට දිමිත්‍රි හමුවෙන්නෙ බද්දේගම පුස්‌තකාලෙදී. මේ දෙන්නම මේ පුස්‌තකාලෙට හරිම ආදරෙයි. හරියට අම්ම තාත්තා ළඟට එනව වගේ හැමදාම හවසට එනවා. ඒකට හේතුව මහ විශාලෙට ගොඩනැඟිල්ලක මේ පුස්‌තකාලෙ නොතිබුණාට හොඳ වටිනා පොතපත මේ පුස්‌තකාලෙ තිබුණු නිසයි. ත්‍රිවංක, විරාගය, ගම්පෙරළිය එහෙම නැත්නම් රුසියන් නවකතාවක්‌ සාමාජික කාඩ්පතට ගත්තොත් දිමිත්‍රිත් ඒ පස්‌සෙම තමයි. කොහොමින් කොහොම හරි මේ දෙන්න සෑහෙන කාලයක්‌ මේ විධියට ගියයි කියමුකෝ. මේ දෙන්නටම ඕනෙ තම තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කර ගන්න. ත්‍රිවංක මාස ගණනාවක්‌ තිස්‌සේ දිමිත්‍රිට ලියාපු ලියුම දෙන්න දෙකට දෙවාරුවේ ඉඳල ඉඳල එක්‌තරා ඉරිදා දවසක තුම්මේ හන්දියේදී ලියුම දීල පණ එපා කියලා දිව්ව වගේ. තෙලිකඩ බස්‌ එකකට නැඟල ගෙදර ගියා.

දිමිත්‍රිත් ඔහුගේ ප්‍රේමය පළමු ලිපියෙන්ම පිළිගත්තා. දෙන්න පුස්‌තකාලෙට ආවට බොහෝම විනයගරුකව හැසිරුණා. අදහස්‌ කියා පෑවේ ලිපිවලින්. දිමිත්‍රි සාමාන්‍ය පෙළ උසස්‌ ලෙස සමත් වුණා. ත්‍රිවංකත් බාහිර උපාධි ප්‍රථම වසර සමත් වුණා. ඔහු ඇයගේ ගෙදරට ආව ගියා. අම්ම තාත්තගෙ කැමැත්ත ඕඩිහෙලේටම ලැබුණා. දිමිත්‍රිගේ තාත්ත කොළඹ ආයතනයක රැකියාවක්‌ කරන බව ඇය තමාගේ පළමු ලිපියෙන්ම කිව්වා. දිමිත්‍රිගේ තාත්ත එක දවසක්‌ ත්‍රිවංකට මෙහෙම කිව්වා.

“පුතේ මට ඕන ධනය බලය නෙවෙයි. හැදිච්චකම ගුණ යහපත්කම බුද්ධිමත්කම විතරයි. ඔය දරුව හිඟන්නෙක්‌ වුණත් කමක්‌ නෑ පුතේ. ජීවිතේ කියන්නෙ සල්ලිය භාගෙට කුලය බලයට නෙවෙයි. ජීවිතයට මූණදීමේ ශක්‌තිය ප්‍රශ්නවලට මුහුණ දීමේ ශක්‌තිය පිරුණු කෙනාට ඕනෑම තැනක ජීවත් වෙන්න ඇහැකියි. පුතාට ඒ ශක්‌තිය තියෙනවා.”

ත්‍රිවංක ඒ තාත්තගේ කතාව පිළිගත්ත. ත්‍රිවංක යමක්‌ කමක්‌ ඇති පවුලක කෙනෙක්‌. නමුත් තම ප්‍රේමය ගැන ගෙදරට කිව්වේ නෑ. පස්‌සෙන් පහු කියනව කියල හිතා ගත්තා. ඔයින් මෙයින් කාලය වක්‌කඩ කැඩුව වගේ ගියා. ත්‍රිවංක දිමිත්‍රිලගේ ගෙදරදී තාත්තා ගෙදර හිටපු හැම දවසකම මේ තාත්තා ත්‍රිවංක ගෙදර යන්න හදනකොටම ත්‍රිවංකගෙ කමිස සාක්‌කුවට රුපියල් දහයක්‌ පහළොවක්‌ නොදාන්නේ එහෙමත් දවසක.

“පුතා බස්‌ එකට ඕක තියා ගන්න. මොනවත් හිතන්න කාරි නෑ. මම කැමැත්තෙන් දෙන දේ”

තාත්තා එහෙම කියන කොට දිමිත්‍රිගෙ අම්මත් ඒකට උල්පන්දම් දෙනව. අම්ම මෙහෙම කියනව.

“අපි සල්ලකාරයොයි කියල හිතන්න එපා. තාත්තගෙ ආශාවනේ පුතේ” එහෙම අම්ම කියන කොට දිමිත්‍රි ඇවිත් කමිස සාක්‌කුවෙ යන්තම් එල්ලිලා තියෙන රුපියල් දහය ඈ සාක්‌කුවේ ඇතුළටම දානවා.

ඔන්න එකමත් එක දවසක ත්‍රිවංක හිත මිත්‍රයෙකුගේ වැඩකට නුගේගොඩ ගියා. නුගේගොඩ බෝගහ යට දිමිත්‍රිගෙ තාත්ත වගේම කෙනෙක්‌ බිම වාඩිවෙලා ටින් එකකුයි පිඟානකුයි ළඟින් තියාගෙන ඉන්නව දැකල දනි පනිගලා ළඟට කිට්‌ටු වුණයි කියමුකෝ. ත්‍රිවංක එක පාරටම ගැස්‌සුණා. ඔහු “තාත්තේ ඇයි මේ… මෙතන හිඟා කන්නෙ? කියලා ඇහුවා.

“අනේ පුතේ මට සමාවෙන්න මගේ රක්‍ෂාව දේශපාලනේ නිසා නැතිවෙලා ගියා. රක්‍ෂාවක්‌ කරන්න හයි හක්‌තියක්‌ නැති කමට අවුරුදු දෙක තුනක ඉඳලා තැන තැන හිඟා කනව පුතේ. අනේ අපිට සමාවෙන්න පුතේ. මගේ දරුවා හරිම දක්‍ෂයි පුතේ ඉගෙන ගන්න. විශ්වවිද්‍යාලයට යන්නයි දූගේ කල්පනාව. අම්මයි දූයි දන් නෑ මේ කිසි දෙයක්‌ පුතේ. මට සමාවෙන්න.

ත්‍රිවංක කරන්ට්‌ එකට අහුවෙලා විසිවෙලා ගියා වගේ තාත්තව අල්ලගෙන බදාගත්ත. ඔහුට සිහිවුණා තාත්තා කියපු බොහෝ දේ. ඔහු තාත්තට කිව්වා මීට පස්‌සෙ තාත්තා ගෙදර ඉන්න. මම සල්ලි දෙන්නම් දිමිත්‍රිට විශ්වවිද්‍යාලයට යන්න මම වියදම් කරන්නම් කියල. ත්‍රිවංක තාත්තව නැගිටුවල ඇඳුම් ටිකකුත් අරගෙන හෝටල් කාමරේකට ගිහිල්ල තාත්තව ජණ්‌ඩියට අන්දවගෙන ගාලු බස්‌ එකක නැඟල ගමට යන්න පිටත් වුණා.

ගමට යන අතර වාරේ තාත්තට සිහියට ආවා ළමයෙක්‌ බුද්ධිමත් නම් සමාජය තේරුම් අරගෙන ඇත්නම් ප්‍රශ්න බොහොමයක්‌ ඔඩු දුවන්නෙ නැහැ කියල. ත්‍රිවංකට තේරුම් ගියා ලංකාවේ තියෙන දේශපාලන සමාජය නිසා මිනිස්‌සුන්ට මොන මොන විපත් වෙනවද කියල.

අශෝක කාරියවසම්
Source : Divaina