අවසානයේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ – හයිබ්‍රිඩ් උසාවියේ තෝල්කවරු

0
517
HumanRightsCouncil

අවසානයේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. ඒ ලෙහන්නටත් පෙර මල්ල ඉරාගෙනය. කල් මරමින් සිටි ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව පෙරේදා ජිනීවාහිදී එළිදක්‌වා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2002 වර්ෂයේ සිට 2011 දක්‌වා වූ කාලය අතරතුර සිදුවූවා යෑයි කියන මානව හිමිකම් කඩවීම විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ යුතු බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් ප්‍රකාශ කර තිබිණි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කාර්යාලයක්‌ ද ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ.

2002 – 2011 කාලය අතරතුර මෙරට ආරක්‍ෂක අංශ හෝ ඔවුන්ට සම්බන්ධ පිරිස්‌ විසින් දෙමළ දේශපාලනඥයන්, මානුෂීය සේවකයන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් වැසියන් ඝාතනය කළ බව ද ඊයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. එපමණක්‌ නොව එල්. ටී. ටී. ඊ. ය විසින් ද ඉවක්‌ බවක්‌ නැතිව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාර එල්ල කිරීමෙන් සහ බිම් බෝම්බ ප්‍රහාර වලින් රජයේ නිලධාරීන්, විද්වතුන්, විරුද්ධ මත දරන දමිළ දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් ද, සිංහල, මුස්‌ලිම් සාමාන්‍ය වැසියන් ද ඝාතනය කළ බවට මානව හිමිකම් කවුන්සිලයට වාර්තා වී ඇති බවත් ද සඳහන්ය. මෙරට ආරක්‍ෂක හමුදා හෝ ඊට සම්බන්ධ පිරිස්‌ විසින් ඝාතන සිදු කළා යෑයි අවධාරණය කරන ජගත් මානව හිමිකම් කවුන්සිලය එල්. ටී. ටී. ඊ. ය ද ඝාතන සිදු කළා යෑයි “වාර්තා” වන බවක්‌ ෂේප් න්‍යායෙන් කියයි. ගෙන ඒමට නියමිත ජාත්‍යන්තර උසාවිය මෙන්ම මේ ප්‍රකාශ ද “හයිබ්‍රිඩ්” ය.

ඇත්ත වශයෙන්ම සිහි කටයුතු ඇති අයෙක්‌ තේරුම්ගත යුත්තේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඊයේ මුණගැසෙන විටත්, මාස හයකට පෙරාතුව මේ වාර්තාව සකස්‌ කර අවසන්ව තිබූ බවය. වැඩේ යාන්තමින් ගැස්‌සී ගියේ මහින්දගේ ආණ්‌ඩුව බිඳවැටීමත් සමගය. මාස හයකට පෙර වැඩ අවසන් කර තිබූ වාර්තාව මේ සමුළුවට සහභාගි වූ මෙරට නියෝජිතයන්ට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය පවා අතහැර දමන්නේ වැඩේ සීරියස්‌ නිසා බව පෙනේ.

කෙසේ හෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් නීශා බිස්‌වාල් මෙරට කළ සංචාරය අවසානයේදී ප්‍රකාශ කළ “දේශීය යාන්ත්‍රණ” කතාව මේ වන විට යට ගොසිනි. (දේශීය යාන්ත්‍රණය පවා රට උගුලක පැටලවීමට ගන්නා උත්සාහයක එක්‌ පියවරක්‌ නිසා ඊට අපි එකඟ නොවෙමු.) එය වෙනත් කාරණයකි. එහෙත් දේශීය යාන්ත්‍රණය ගැන අපිටත් කලින් කලබල වූයේ ටී. එන්. ඒ. සහ උතුරු පළාත් මහ ඇමැතිවරයාය. “ජාත්‍යන්තර පරීක්‍ෂණයක අවශ්‍යතාව” ලෙස යෝජනාවක්‌ ද උතුරු පළාත් සභාවේදී සම්මත කර ගැනීමට ඔවුන් සමත් විය. දෙමළ ඩයස්‌පෝරාව පවා සිටියේ එවැනි ප්‍රතිපත්තියකය. ඒ නිසා මේ කිසිවක්‌ හුදකලා අහඹු සිදුවීම් නොව එකිනෙක ගැටගැසුණු ඒවා බව සිහිකටයුතු පුද්ගලයකුට වැටහේ.

යෝජනා කර ඇති වැඩපිළිවෙළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙනත් කිසිදු රටක්‌ සම්බන්ධයෙන් ගත් තීරණවලට වඩා වෙනස්‌ එකකි. මෙවැනි ක්‍රියාදාමයක්‌ වෙනත් කිසිදු රටකට අදාළව මෙහෙයවා නැත. විශේෂයෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින් කතා කරන මානව හිමිකම් කවුන්සිලයේ මේ ක්‍රියාදාමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් ලෙස බිඳ දමන ආකාරයේ එකකි. මේ කියන හයිබ්‍රිඩ් (දෙමුහුන්) අධිකරණයේ ස්‌වභාවය හෝ එහි සාමාජිකයන් තෝරා ගැනීමේ සංයුතිය කවරේද යන්න නිසි සොයා බැලීමකින් තොරව එකඟතාවන් පළ කිරීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර දෙයකි. විශේෂයෙන් උතුරට විශේෂ වූ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීම තුළ එල්. ටී. ටී, ඊ. ය විසින් සිදු කළ දකුණේ ඝාතන ගැන විමර්ශනය කෙරෙන්නේ කවරාකාරයට ද යන්න පැහැදිලි නැත.

හුසේන් කුමාරයාගේ වාර්තාවේ තිබෙන පරිදි එල්. ටී. ටී. ඊ. යද ඝාතන සිදුකර ඇතැයි වාර්තා වේ.” යන්න විමර්ශනය කිරීම ආරම්භ කරන්නේ කොතැනින්ද? අප විශ්වාස කරන්නේ මෙවැනි කාරණා එකඟත්වයකට පෙර විස¹ගත යුතුව තිබුණු ඒවා බවය.

මානව හිමිකම් කවුන්සිලය යෝජනා කරන සංහිඳියාව ඇතිකරන්නට මේ උතුරට පමණක්‌ සුවිශේෂී වූ හයිබ්‍රිඩ් අධිකරණයකට හැකියාවක්‌ නැත. ජිනීවාහිදී මෙවැනි ප්‍රවණතාවක්‌ හටගන්නේ ඉතිරිව ඇති එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්, ඔවුන්ගේ ඉත්තන් හා දෙමළ ඩයස්‌පෝරාව සහ ත්‍රස්‌තවාදයට Rජුවම උදව් උපකාර කරන පිරිස ගෙන ගිය දිගුකාලීන ප්‍රචාරණය මත පදනම්ව වන බව කිව යුතුය. (ශ්‍රී ලංකා රජය ඊට සමගාමීව හරි දේ ප්‍රචාරණය නොකිරීමේ උදාසීන පිළිවෙතක සිටි බවද අපි අවධාරණය කරමු.)

ඇමරිකාව, ඊශ්‍රායලය වැනි යුද අපරාධවලට කප් ගැසූ රටවල්වල තවමත් හයිබ්‍රිඩ් උසාවි පිහිටුවීමට ජිනීවාවලට කල්පනා නොවන්නේ යෑයි කිසිවිටෙකත් නොසිතන්න.

Source : Divaina