වසර හාර පන්දහසකට පෙර ආදි මානවයා ජීවත් වූ සාධක පොලොන්නරුව කැණීම්වලින් හමුවනවා – polonnaruwa heritage city

0
2113
polonnaruwa-heritage

– මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්

කරුණාරත්න ගමගේ

පොලොන්නරු ඉතිහාසය නැවත මතුකර ගැනීම සඳහා කෙරෙන නවතම පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණවලදී මෙයට වසර හාරදහසකට හෝ පන්දහසකට පෙර ආදි මානවයා ජීවත් වූ බවට සාධක හමු වී ඇතැයි මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

පොලොන්නරුව පුරාවිද්‍යා බිමේ අංක 02 ශිව දේවාලයට ආසන්නයේ මෙතෙක්‌ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී පොලොන්නරු යුගයට පෙර බොහෝ දුරට අනුරාධපුර යුගයට අයත් යෑයි සැලකිය හැකි ගොඩනැඟිලි සංකීර්ණයක පාදමක්‌ හමු වූ බවත් ඒ අනුව චෝල ආක්‍රමණයට පෙර ස්‌ථිර ජනාවාස මෙහි තිබූ බවට වංශ කතාවල සඳහන් තොරතුරු සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක්‌ ඇතිවන බවත් මහාචාර්යවරයා කීය.

ආදි මානවයා පිළිබඳව අපට මෙතෙක්‌ තොරතුරු අනාවරණය වන්නේ බලංගොඩ සබරගමු පළාතෙන් යෑයි ද වියළි කලාපයේදී ආදි මානවයා විසූ බවට පැහැදිලි සාධක ලෙස ගලින් නිමවන ලද කුඩා ගල් ආයුධ, යකඩවලින් ආයුධ තනාගත් බවට විශ්වාස කළ හැකි යෑයි ද හෙතෙම පැවසීය.

බොහෝ දුරට මෙම කුඩා ගල් ආයුධ සතුන් දඩයම් කිරීමෙන් පසු එම සතුන්ගේ සම් ඉවත් කිරීමට කුඩා කැබලිවලට ඉරා ගැනීමට ආදිවාසීන් භාවිත කරන්නට ඇති බවට විශ්වාස කරන බව ද මහාචාර්යවරයා කීය.

පොලොන්නරුවේ සිදුකෙරෙන මෙම පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණ කටයුතු වසර 05 ක ව්‍යාපෘතියකි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘති සඳහා එංගලන්තයේ බරන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා ද එක්‌ව සිටී. මෙයට අමතරව නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල පුරාවිද්‍යා විශේෂඥයෝ ද මෙරට විශ්වවිද්‍යාල ගණනාවක පුරාවිද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද සහභාගි වී සිටිති.

පොලොන්නරු ඉතිහාසය නැවත මතුකර ගැනීමේ පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණ වඩාත් විද්‍යාත්මක මුහුණුවරින් ඉදිරි කාලයේදී සිදුකෙරෙන බව ද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේය.

මේ අනුව පොලොන්නරුව ඉපැරණි පුරාවිද්‍යා භූමිය කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 50 ක්‌ දුරට විහිදුණු සෝමාවතිය, දිඹුලාගල, මැදිරිගිරිය, මින්නේරිය, නාගලකන්ද, ඇලහැර, බකමූණ ආදී ප්‍රදේශ කරා ද මෙම කැණීම් සහ පර්යේෂණ ඉදිරි වසරේ සිට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

Source : Divaina