ප්‍රජාතන්ත්‍රවාදයට පණ දෙන ව්‍යවස්ථාදායක සභාව

0
621
Sri Lanka Politics

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.මෙම ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීමට අදාළව ගැටලු රැසක් මතුවිය. නමුත් නිල බලයෙන් පත්වන සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙය රැස්වීමට තීරණය කෙරිණ.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ නිල නියෝජිතයන් වන්නේ කථානායක කරු ජයසූරිය, අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ නියෝජිතයා වන විජයදාස රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නම් කළ පාඨලි චම්පික රණවක යන මහත්වරුද විපක්ෂයේ නියෝජිතයා ලෙස ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාද ඊට සහභාගි වී සිටියහ. සුළු පක්ෂ නියෝජනය කරමින් විජිත හේරත් මහතාද ඊට සහභාගි වී තිබේ.
මේ සඳහා යෝජනා වී තිබෙන සිවිල් සමාජයේ නියෝජිතයන් තිදෙනාගේ නම්ද ව්‍යවස්ථාදායක සභාව අනුමත කළ නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුය. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මෙපමණ දුරට කතා කිරීමට සිදුවන්නේ රටට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එය කරන බලපෑම සුළුපටු නොවන බැවිනි. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන ‍පොලිස් කොමිසම වැනි කොමිෂන් සභා 10ක් ව්‍යවස්ථාදායක සභාව විසින් මේ රටේ ස්ථාපිත කිරීමට නියමිතය. රටේ බලාත්මක වෙමින් තිබූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කොමිෂන් සභා සියල්ල බල රහිත කෙරෙන පරිදි ගෙන එන ලද 18 වැනි සංශෝධනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමූ බව රටට රහසක් නොවේ. රටේ විවිධ ආයතන කොමිෂන් සභා හරහා බෙදී ගොස් තිබූ බලතල විධායක ජනාධිපති ධුරය වටා ඒකරාශී කරමින් 18 වැනි සංශෝධනය ස්ථාපිත කෙරිණ. පසුගිය පාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තිම හුස්ම ‍පොදක්  එසමයෙහි වාතලයට මුසුවිය. එම අමිහිරි මතකයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනවා වෙනුවට නව ආණ්ඩුව විසින් 19 වැනි සංශෝධනය සම්මත කරගනු ලැබිම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයෙකි. 19 වැනි සංශෝධනයේ සැබෑ ප්‍රතිඵල භුක්ති විඳිය හැක්කේ ව්‍යවස්ථාදායක සභාව සක්‍රීය වීමෙන් පමණි. ඒ සඳහා පත්කෙරෙන සිවිල් සමාජයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තුවේදී විරෝධතා එල්ල විය. ඒ හේතුව මුල් කරගනිමින් එය කල් ගියේය. මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් විගසම කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ කටයුත්ත කෙරෙහි ආණ්ඩුව අවධානය යොමුකර තිබිම යහපත් ප්‍රවණතාවයකි.
ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරනු ලබන කොමිෂන් සභා රට තුළ ක්‍රියාත්මක වීමත් සමග දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට අවශ්‍ය ලෙස රට පාලනය කිරීමට තිබූ ඉඩකඩ අහෝසි වී යනු ඇත. රටේ සියල්ල සිදුවනුයේ පිළිගත් නීතිමය සම්ප්‍රදායයන් ඔස්සේය. දේශපාලනඥයන්ට සැලියුට් ගැසුවේ නැතැයි ස්ථාන මාරු ලබාදෙන්නට, නිලධාරීන්ගේ මගඩිවලට සහය නුදුන්නේ යැයි සංචිතයට මාරුකර හරින්නට මින් ඉදිරියට දේශපාලනඥයන්ට නොහැකි වනු ඇත. ස්වාධීන කොමිෂන් සභා රට තුළ ස්ථාපිත වුවහොත් ඒත් සමග රජයේ සේවකයාගේ පෞරුෂය ඉහළ නැංවෙනු නිසැකය.
නමුත් මේ සියල්ල වලංගු වන්නේ කොමිෂන් සභාවල බල වපසරිය තුළ ඔවුන්ට නිදහසේ හැසිරෙන්නට ඉඩ ලැබේ නම් පමණි. එමෙන්ම රටේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයක් ශක්තිමත් කිරීමට ආණ්ඩුව පියවර ගනු ලබන්නේ රටේ මහජනයාට වඩාත් හිතකර සේවාවක් සැපයීම අරමුණු කරගෙනය. මොනයම් අන්දමේ ප්‍රජාතන්ත්‍රීය ආයතන ව්‍යුහයක් සකස් කෙරුණත් අභියෝග බාරගෙන රටේ නිලධාරී තන්ත්‍රය කොන්ද කෙළින් තබාගෙන කටයුතු කිරීමට නොහැකි නම් මේ කිසිදු ප්‍රතිසංස්කරණයකින් ප්‍රයෝජනයක් නොමැති වනු ඇත.

Source : Lakbima