නීතිඥ ගාස්තුවට කරාබු ගලවා ගැනීම

0
670

ලෝකයේ ඕනෑම රටක අධිකරණයක් සැලකෙන්නේ යුක්තිය පසිඳලන ආයතනයක් ලෙසිනි. එහෙයින් තම ෙදෙනික ජීවිතයේදී යම් යම් අසාධාරණකම්වලට ලක්වන ඕනෑම කෙනෙකු යුක්තියත්, සාධාරණත්වයත් පතා දිවයන්නේ අධිකරණ වෙත බව නොරහසකි.

ඕනෑම අධිකරණයක් මගින් තීන්දු තීරණ ලබාදෙනු ලබන්නේද තමන් හමුවේ ඉදිරිපත්වන සාක්ෂි අනුවය. ඒ අතින් බලනවිට අපේ අධිකරණ විනිශ්චයකරුවන් වැඩිදෙනෙකු අපක්ෂපාතීත්වය හා සාධාරණාත්වය පිළිබද ඉතා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන තිබෙන බව ප්‍රකට කරුණකි. එහෙත් එහි සිටින සෙසු ප්‍රබල පාර්ශ්වය වන නීතිඥවරුන් හා වරියන් පිළිබඳව ජනතාව තුළ ඇති ආකල්පය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එසේ වන්නේ අධිකරණය හමුවේ සත්‍යය අසත්‍යයක් බවට පත්කරන්නේත්, අසත්‍යය සත්‍යයක් බවටපත් කරන්නේත් ඔවුන් විසින් වන බවට පවතින මතයයි. ඔවුන් එය කරන්නේ නීතිමය පදනමක් ඇතිව බවද අමතක නොකළ යුතුය.

ඒ නිසාම මෙරට නීතිඥයන් අතීතයේ සිටම ජනතාව අතර හැඳින්වූයේ ගිනිකන්නන් වශයෙනි. ඇතැම්විට නීතිඥයන් අතීතයේ එවැනි හැඳින්වීමක් ලබන්නට ඇත්තේ ඔවුන් තම සේවාවන් සැපයීම වෙනුවෙන් අසාධාරණ ගාස්තු ක්‍රමයක් මුල් කාලයේ සිටම අයකර ඇති නිසා විය හැකිය.
අතීතයේ පමණක් නොව වර්තමානයේ පවා වෙසෙන ඇතැම් නීතිඥවරුන් හා වරියන්ද ඊට සමාන ගති පැවතුම්වලින් සමන්විත පිරිසක් බවට තහවුරු වන පුවතක් ඊයේ (08 දා) මෙරට හැම විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යයකම පාහේ පළවී තිබිණි එම ප්‍රවෘත්තියෙහි සඳහන් වූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන එක්තරා නීතිඥවරියන් දෙදෙනෙකු නඩු ගාස්තුවක් ගෙවීමට නොහැකි වූ කාන්තාවකගේ කනේ තිබූ කරාබු ජෝඩුවක් තම ගාස්තුවට හිලවුවනසේ ගලවා ගෙන ඇති බවයි.

එම සිද්ධිය ගැන දැනගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔවුන් දෙදෙනා ගෙන්වා ප්‍රශ්න කොට දැඩිලෙස අවවාද කර ඇති බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබිණි. තමන් පැළඳ සිටි කරාබුවේ බෝලය තදවී තිබුණු බැවින් එය ගලවා ගැනීම සඳහා ඒ ආසන්නයේ තිබු ජල කරාමයෙන් ජලය ගෙන එය ‍පොඟවා කරාබුව ගලවා ගැනීමට යම් කාලයක් ගතවූ අතර එය ඉක්මන් කරන ලෙස එම නීතිඥවරියන් තමන්ට දැනුම් දුන් බවද එකී කාන්තාව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශකර ඇත.

අප අසා ඇති අන්දමට කාන්තාවන් පුරුෂ පක්ෂයට වඩා බෙහෙවින් කරුණාවන්තය. ඒ අතින් කාන්තාවන් යනු දයාවේ හා කරුණාවේ උල්පතයි. එහෙත් මේ නීතිඥවරියන් දෙපළ එම සිද්ධියේදී ක්‍රියාකර ඇත්තේ දයාවක් හෝ කරුණාවක් නොමැති නිරතුරුව මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක්
කෙනෙකු ලෙසිනි එසේම ඔවුන් දෙපළගේ එම අකාරුණික සැලකිල්ලට ලක්වී ඇත්තේද ඔවුන් වැනිම වූ කාන්තාවක වීමද විශේෂත්වයකි.
අසන්නට ලැබෙන අන්දමට සිද්ධියට ලක්වූ කාන්තාව අධිකරණයට පැමිණ ඇත්තේ යම් චෝදනාවකට ලක්වූ තම සැමියාගේ නඩුවකට අදාළව මෝසමක් ගොනු කිරීම සඳහාය. එම මෝසම ගොනු කිරීම සඳහා අය කැරෙන නීතිඥ ගාස්තුව ඇය සතුව නොතිබුණෙන් ඊට හිලවු වශයෙන් ඇය කන්දෙකේ පැළඳ සිටි කරාබු ජෝඩුව ගලවා දෙන ලෙස නීතිඥවරියන් දෙපළ ඉල්ලා තිබේ. ඒ අනුව ඇය තමන් සතු කරාබු ජෝඩුව ගලවා ඔවුන් වෙතදී ඇත්තේ ස්ව කැමැත්තෙනි එහෙයින් එහි කිසිදු බලහත්කාරයක් සිදුවී නැති බව සත්‍යයකි.

එහෙත් ප්‍රශ්නය වන්නේ එම නීතිඥවරියන් දෙපළ තමන් වැනිම වූ කාන්තාවකගෙන් එවැනි අමානුෂිත ඉල්ලීමක් කර තිබිමයි. අනෙක් අතට ඇය ඒ මොහොතේ පසුවී ඇත්තේ කිසිවක් කර කියා ගත නොහැකි අසරණ තත්ත්වයකය. අඩුම වශයෙන් පසුව මුදල් ගෙවීමේ ‍පොරොන්දුවකට යටත්ව හෝ ඇයගේ එම අවශ්‍යතාව සපුරාදීමට එම නීතිඥවරියන් දෙපළට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තිබිණි. එවැනි අවස්ථාවන්හිදී එලෙස සහනශීලී ක්‍රමවේදයන් අනුගමනය කරන නීතිඥවරුන් ගැන අප කොතෙකුත් අසා තිබේ.

එහෙත් එම නීතිඥවරියන් මෙහිදී කටයුතු කර ඇත්තේ මනුෂ්‍යත්වයට පවා නොගැළපෙන අයුරිනි. අනෙක් අතට නීති වෘත්තියෙහි නියැළෙන ඔවුන් දෙදෙනා ද පෙරකී කාන්තාව මෙන් අතේ සතයක්වත් නොමැතිව සිට ඇති බවටද කිසිසේත්ම අනුමාන කළ නොහැක. අඩුම වශයෙන් මෙවැනි අමානුෂික හා අශිෂ්ට ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකර එකී මෝසම ඉදිරිපත් කිරීමේ ඉල්ලීම ප්‍රතිෂේප කර තිබුණා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග නොයාමට පවා ඉඩ තිබුණෝය.

Source : Lakbima