දකුණු ආසියාවේ ආරක්ෂාව සහ අවදානම! defence-conferenc-sri-lanka

0
1030

ආරක්ෂක සමුළුව 2015

දකුණු ආසියා කලාපයේ බල අරගලය සම්බන්ධව උණුසුම් අදහස් හුවමාරු වූ සුවිශේෂ අවස්ථාවක් පසුගිය දා ශ්‍රී ලංකාවේ දී දැක-බලාගැනීමේ අවස්ථාව ලෝකයේ රටවල් රාශියක ආරක්ෂක අංශ සාමාජිකයන්ට හිමි විය. ඒ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස-වැනි වරටත් සංවිධානය කළ ආරක්ෂක සමුළු පරිශ්‍රයේදීය.

පුරා ස-වසරක් අඛණ්ඩව ශ්‍රී ලංකා යුද හමුදාව මේ ආරක්ෂක සමුළුව සංවිධානය කළද වඩාත් උණුසුම් සාකච්ඡා වට පැවැති සමුළුව ලෙස මෙවසරේ පැවැති සමුළුව ඉතිහාසගත වනු නියතය.

මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට සපැමිණි ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි පැවැත්වූ දෙසුම ත්‍රස්තවාදය සම්බන්ධව පමණක් නොව, රටක ඇදවැටීමට කලාපීය සහ ලෝක බලවතුන්ගේ මැදිහත්වීම් සම්බන්ධව අත්දැකීම්වලින් සමන්විත වූ සාරගර්භ දේශනයක් විය. ඇෆ්ගනිස්තානය යනු ලෝක බලවතුන්ගේ අසාධාරණ මැදිහත්වීම් හේතුවෙන් අගාධයේ පතුලටම ගිලුණු, අසාධාරණයට ලක් වුණු දේශයකි.

කර්සායි එහි ජනාධිපති ධුරය හොබවන්නේ අමෙරිකාව විසින් තලේබාන් බලය සිඳ, තමන් යටතට රටේ පාලනය නතු කරගැනීමෙන් පසුවය. කෙසේ වුවද කර්සායි මැදිහත් ලෙස අදහස් දක්වමින් පවසා සිටියේ සෝවියට් රුසියාව මෙන්ම අමෙරිකාවද වරින් වර තම දේශයට කළ මැදිහත්වීම් විශාල බවයි.

ලෝකයටම ‘ත්‍රස්තවාදය’ යන වදන හුරු කළ තලේබාන් සහ අල්-ඛයීඩා වැනි සංවිධාන බිහි වීමට තම මාතෘභූමිය වූ ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නායකත්වය හොබවා ලත් අත්දැකීම් ආරක්ෂක සමුළුවට සහභාගී වුවන් සමග බෙදාගත් කර්සායි පවසා සිටියේ කිසිදු බාහිර පාර්ශ්වයක සහයෝගය ලැබීමෙන් තොරව, මැදිහත් වීමෙන් තොරව කිසිදු ත්‍රස්ත සංවිධානයක් බිහි නොවන බවයි. මෙය තම අත්දැකීම් මත වටහාගත් දෙයක් බව පැවසූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා මේ කටුක සත්‍යය දැන සිටියද කිසිවකුත් ඒ බව ප්‍රසිද්ධියේ සඳහන් නොකරන බවයි.

වරින් වර තම රටට පැමිණි අමෙරිකාව සහ රුසියාව රටේ සාමාන්‍ය ජනජීවිතයට කළ හානිය සඳහන් කර සිටි ඔහු ඒ බලපෑම්වලට සමගාමීව තලේබාන්වරුන් බිහි වූ බව පැවසූවේය. එහෙත් තලේබාන්වරුන් බිහි වීමට පදනම දැමූවේ කවුරුන්දැයි කර්සායි සඳහන් කළේ නැත.

තම දේශනය සුවිශේෂ කරමින් හමීඩ් කර්සායි වැඩිදුරටත් පවසා සිටියේ ත්‍රස්තවාදය පොදු තර්ජනයක් ලෙස මුළු ලොවම හඳුනා නොගන්නා තෙක් එය කිසිදා පිටුදැකීමට නොහැකි බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සමුළුව කලාපයේ විතැන් වන බලය සම්බන්ධව අදහස් හුවමාරු වූ වේදිකාවක් බවට පත් විය.

ඉන්දියාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ දේශකයන් ඉන්දියාවේ අත්දැකීම් පාදක කරගනිමින් දේශන පැවැත්වූහ. ඒ අතරට එක්වූ ඉන්දීය නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ආචාර්ය අරවින්ද් ගුප්තා මහතා දේශයක ආරක්ෂාව සැපයීමේ දී උද්ගත වන තර්ජනවල ස්වභාවය සම්බන්ධයෙන් තම දේශනය පැවැත්වූයේ ය.

තම දේශනයේ දී ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කර ගත් ආචාර්ය ගුප්තා දේශයක ආරක්ෂාව තහවුරු කිරීමේදී ඒ සම්බන්ධව ආර්ථික බලයේ කාර්යභාරය, ආරක්ෂාව තුළ ප්‍රතිසංවිධාන මෙන්ම ත්‍රස්තවාදය යනාදි කරුණු සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය.

මදුරාසි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභාකර් ආරක්ෂක සමුළුවට එක් වෙමින් දකුණු ආසියාවේ රටවල ආරක්ෂක හමුදාවල කාර්යභාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය. කලාපයේ ආරක්ෂාව සම්බන්ධව ඉන්දියාවේ කාර්යභාරය මත පදනම්ව තම දේශනය පැවැත්වූයේ ආචාර්ය උත්තම් සිංහා ය. බලය යනු ගතික සාධකයක් බවත්, එය ක්ෂණයකින් තවත් ස්ථානයක් කරා විතැන් විය හැකි බවත් පෙන්වා දුන් ආචාර්ය සිංහා බලය හුවමාරුව සහ බල තුලනය අතර ඉන්දියාව ලෝක මට්ටමේ හොබවන ස්ථානය සහ ඒ යටතේ ඉන්දියාව සිදු කරන සුවිශේෂ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූයේය.

ආසියාවේ බලවතුන් වීමට චීනය සහ ඉන්දියාව අතර පවතින සීතල අරගලය ලෝකයට රහසක් වන්නේ නැත. චීනය පසුගිය සමයේ දකුණු ආසියාවද පාදක කරගනිමින් තම අරමුණු කරා වේගවත් ගමනක නිරත විය. මේ වාතාවරණය ඉන්දියාවට සතුටුදායක වූයේ නැත. මෙහිලා ශ්‍රී ලංකා‍වේ මැදිහත්වීම් සම්බන්ධවද ජාත්‍යන්තර තලයේ සංවාද සාකච්ඡා පැවැති බව රහසක් වන්නේ නැත. මෙවර ආරක්ෂක සමුළුවේදීද මේ සම්බන්ධයෙන් කිසියම් දුරකට මත හුවමාරු වීම්ක් දක්නට ලැබිණි. ආචාර්ය උත්තම් සිංහා තම දේශනය අතරදී පවසා සිටියේ ක්‍රිමියාව, බටහිර ආසියාව සහ දකුණු චීන මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සාමය සහ සහජීවනය පැවැතිය යුතු තත්ත්වයෙන් නොපවතින බවයි.

ආචාර්ය අජායි ෂානි තම දේශනය මගින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රටක ප්‍රතිචාරය කෙසේ විය යුතුදැයි පෙන්වා දුන්නේය. ආචාර්ය අජායි ෂානි ඉන්දියාවේ නව දිල්ලි නුවර අර්බුද කළමනාකරණය සම්බන්ධ අධ්‍යාපනායතනයේ විධායක අධ්‍යක්ෂවරයා වන්නේය.

පාකිස්තානයේ මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් සයිද් ශකීල් ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමුළුවට එක් වෙමින් කියා සිටියේ පාකිස්තානය සැමවිටම සාමය ස්ථාපිත කිරීමට උපරිමයෙන් කටයුතු කළ බවයි. තම රට සෑම අවස්ථාවකම ලෝකයේ සෙසු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ බව පෙන්වා දීමටද මහ කොමසාරිස්වරයා අමතක කළේ නැත.

ආරක්ෂක සමුළුවේ කැපීපෙනෙන දේශනයක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ක්ෂියංග්ලියංග් ඉදිරි දශකවලදී ජාතික ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන සම්බන්ධව අදහස් දැක්වූයේය. එහිදී ඔහු පවසා සිටියේ අතීතයේ පාඩම්, සාමකාමී සංවර්ධනයට මාර්ග සොයාගැනීම, තිරසාර ආරක්ෂාව, කලාපයේ සෙසු රටවල් සමග සාමකාමී සබඳතා පවත්වාගැනීම වැනි කරුණු අධ්‍යයනය කිරීමෙන් ඕනෑම දේශයකට සාර්ථකත්වය අත් කරගත හැකි බවයි.

ටිරෝනි වෑවලගේ
Sourc : Silumina