උතුරු පළාත් සභාවේ යෝජනාවෙන් මතුවන සැබෑ යථාර්ථය – Northern Provincial Council

0
633
Northern-Provincial-Council

උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් යෝජනාව ඉදිරිපත් කරමින්

ඔවුන් කිසිදිනෙක වෙනස්‌ වන්නේ නැහැ
– ප්‍රංශ ලේඛක ඇල්පොන්සෝ කාර්

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව එළිදැක්‌වීම මෙම 30 දා මානව හිමිකම් සැසිවාරයේදී සිදුකෙරියි.

එම වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් පෙරේදා (1දා) සවස කඩිමුඩියේ යෝජනාවක්‌ පළාත් සභාවට ඉදිරිපත් කරමින් එය සම්මත කරගනු ලැබීය.

උතුරු පළාත් සභාවේ විෂය පථයට ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කරුණු අයත් නොවේ.

එහෙත් පළාත් සභාවේ බලතල ඉක්‌මවමින් මහ ඇමැතිවරයා යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විනිශ්චය සභාවක්‌ ස්‌ථාපිත කළ යුතු බව දක්‌වමින් එම යෝජනාව සම්මත කිරීමට පියවර ගෙන තිබිණි.

මේ යෝජනාවට මන්ත්‍රීවරු පස්‌දෙනෙක්‌ විරෝධය දක්‌වා තිබුණත් පළාත් සභාපති සිවඥනම් එය ඒකමතිකව සම්මත කරගත් බව පවසා ඇත. විග්නේශ්වරන්ගේ යෝජනාවේ අඩංගු කරුණු නිරීක්‍ෂණයට ලක්‌කළහොත් කොටි සිදුකළ සියලු අපරාධ වසන් කර ඇති බව පැහැදිලිය. එකී යෝජනාවේ අන්තර්ගත කරුණු මෙසේය.

1. 2002 පෙබරවාරි 21 සිට 2011 නොවැම්බර් දක්‌වා මානව හිමිකම් උල්ලංඝනය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය හා රජයේ ඒජන්තවරුන්ය.

2. ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කළ බවටද සඳහන් කර නැත.

3. ඒ වෙනුවට යොදා ඇති වචන නම් ද්‍රවිඩයන් සමූල ඝාතනය හෙවත් ජාති සංහාරයයි.

4. කොටි සංවිධානය යනුවෙන් ත්‍රස්‌ත සංවිධානයක්‌ තිබූ බවටත් යෝජනාවේ සඳහන් නොවේ.

5. මෙම යෝජනාවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කර ඇත්තේ අතුරුදන් කිරීම අතවර කිරීම් සහ වෙනත් අපරාධකාරී ක්‍රියාවලට ද්‍රවිඩ ජනතාව ගොදුරුවූ බවයි.

6. ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණයද විග්නේශ්වරන්ගේ යෝජනාවෙන් ප්‍රතික්‍ෂේප කර ඇත.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ඉතා ක්‍රමානුකූල ලෙස මෙම යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ කොටි සංවිධානයේ සියළු ඝාතන ක්‍රියාදාමයන් වසන් කරමිනි. මේ වසරේ පෙබරවාරි 10 දා ඔහු ශ්‍රී ලංකාවේ ජාති සංහාරයක්‌ සිදුවූ බවට යෝජනාවක්‌ සම්මත කළේය. සැප්තැම්බර් 1 දා ඔහු සම්මත කළේ එකී දෙවැනි අදියරයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් නිරූපනය වන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව සහ රජයේ ඒජන්තවරු ද්‍රවිඩ ජනතාව වැනසීමට ක්‍රියාකළ බවයි.

ශ්‍රී ලංකාව තුළ කොටි ත්‍රස්‌තවාදයක්‌ හෝ ප්‍රභාකරන්ගේ භීෂණය ක්‍රියාත්මකවූ බවට යෝජනාවේ සඳහන් නොකිරීමද කපටිකමකි.

යුද අපරාධවලට ලක්‌වූ ද්‍රවිඩ ජනතාවට යුක්‌තිය ලැබීමට නම් යුද අපරාධ චෝදනා සඳහා අන්තර්ජාතික විනිශ්චය සභාවක්‌ පිහිටුවීමට ක්‍රියාකළ යුතු යෑයි විග්නේශ්වරන් තවදුරටත් දක්‌වා ඇත.

2012 පෙබරවාරි මස සිට මානව හිමිකම් උල්ලංඝනය වූ බව යෝජනාවෙන් දක්‌වා ඇතත් කොටි සංවිධානය සටන්විරාම ගිවිසුම 9700 කට අධික වතාවක්‌ උල්ලංඝනය කර තිබේ.

එහෙත් ඒ ගැන යෝජනාවේ සඳහන් නොවේ.

එසේම කොටි සංවිධානය විසින් අපේ නියෝජිතයන් ලෙස ද්‍රවිඩ සන්ධානය ක්‍රියාකරන බව පවසා තිබිණි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයද යුද අපරාධ සිදුකිරීම ගැනද වගකිව යුතුවේ.

එහෙත් එම අතීතය විග්නේශ්වරන් විසින් වසාදමා ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි වන්නි මෙහෙයුම ද්‍රවිඩ ජනතාවට එරෙහිව සිදුකළ ජාත්‍යන්තර අපරාධයක්‌ ලෙසට අර්ථ නිරූපණයක්‌ දීමට උතුරු පළාතේ මහ ඇමැතිවරයා ක්‍රියාකර ඇත.

ශ්‍රී ලංකාවේ සමූල ඝාතන ක්‍රියාදාමයක්‌ද සිදුවූ බවද විග්නේශ්වරන් සඳහන් කර ඇත.

එසේ නම් අනුරාධපුරය, අරන්තලාව, දුටුවැව, කැබිතිගොල්ලෑව, කොටුව මහ බැංකු බෝම්බය ඇතුළු ස්‌ථාන රැසක සිදුවූ ක්‍රියාදාමයන් සමූහ මිනිස්‌ ඝාතන මෙන්ම ජාති ඝාතන නොවන්නේද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංහිඳියාව ගැන කරුණු දක්‌වද්දී උතුරු පළාත් සභාවේ මෙකී යෝජනාව එකී සංහිඳියාවට අකුල් හෙළීමක්‌ වේ.

කීර්ති වර්ණකුලසූරිය
Source : Divaina