ජාතික ප්‍රශ්නයට විසඳුම කෝටා ක්‍රමයක්‌ ඇති කිරීමයි – Prof G H Peris – Peradeniya Uni

0
824

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ජී. එච්. පීරිස්‌
වසර 44 ක්‌ විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති සම්මානනීය මහාචාර්ය ජී. එච්. පීරිස්‌ මහතා වසර 25 ක්‌ ලෝකයේ විවිධ රටවල සිදුවන දේශපාලන වෙනස්‌කම් පිළිබඳ විවිධ පර්යේෂණයන් කළ විද්වතෙකි. අපේ රටේ අද පවතින හවුල් ආණ්‌ඩුක්‍රම හා ඊට අදාළ තවත් කරුණු පිළිබඳව අප මහාචාර්ය පීරිස්‌ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණය හා පසුගිය මහ මැතිවරණයෙන් පසු රාජ්‍ය පාලනයේ සුවිශේෂි වෙනස්‌කම් ඇති කර තිබෙනවා. ඔබ මෙය දකින්නෙ කොහොමද?

පිළිතුර – පසුගිය ජනවාරි 08 දා පැවැති ජනාධිපතිවරණය හා ඒ කාලය තුළ සිදු වූ දේ බොහෝමයක්‌ අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනියි. විශේෂයෙන්ම මේ කාලය තුළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වූ අවස්‌ථා කීපයක්‌ තිබුණා. පළමුවැන්න තමයි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය. එතුමා සඳහන් කළා තමන් ජයග්‍රහණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරන බව. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරලා අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමත් ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌. ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක විදියටයි කටයුතු කළේ. අනෙක්‌ තෙවන අවස්‌ථාව තමයි රටේ අගමැතිවරයෙක්‌ සිටියදී අගමැති වරයෙක්‌ පත් කිරීම. එවකට අගමැති ලෙස කටයුතු කළේ දි.මු. ජයරත්න මහතායි. එතුමාව අයින් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්කමක්‌ නෑ. නමුත් ඒකත් එහෙම වුණා. අපිට ව්‍යවස්‌ථා අධිකරණයක්‌ නෑ. අනෙක මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවෙක්‌ අධිකරණයට ගොස්‌ ජනාධිපතිගේ ක්‍රියාවන් ව්‍යවස්‌ථාවට අනුකූලද කියල විමසීමක්‌ කළෙත් නෑ.

ශ්‍රීලනිපයේ පිරිසකට ඇමැතිකම් දීලා ඒ අය ආණ්‌ඩුවේ සහයට තබා ගැනීමත් තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ කටයුතු කිරීමත් ලෝකයේ පළමු දේශපාලන අත්දැකීම ලෙසයි සඳහන් කරන්න වෙන්නෙ.

පසුගිය 17 දායින් අවසන් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරයා අතින් ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීම් සිදුවුණා. විශේෂයෙන් මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කරන දිනයේ එක්‌ පක්‍ෂයකට අවාසි වන ආකාරයෙන් නිවේදනයක්‌ නිකුත් කිරීමත් එජනිස හා ශ්‍රීලනිප මහ ලේකම්වරුන්ගේ තනතුරුවලට අදාළ රාජකාරි වළක්‌වාලමින් අධිකරණ තීන්දු ගැනීමත් ඒ අතර පෙන්වා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – මම ඇහුවේ රාජ්‍ය පාලනයේ සුවිශේෂ වෙනස්‌කම් පිළිබඳවයි. අනෙක ඔබ සඳහන් කරන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හෝ පක්‍ෂයේ ලේකම්වරු සම්බන්ධයෙන් තීන්දු ගැනීම ව්‍යවස්‌ථාවට අදාළ වෙන්නෙ නෑනේ. ඒක පක්‍ෂ අභ්‍යන්තර ප්‍රශ්නයකදී පක්‍ෂයේ සභාපතිවරයා ගනු ලැබූ තීරණයක්‌ නොවේද?

පිළිතුර – ලෝකයේ කිසිම රටක දකින්නට නැති පාලන ක්‍රමයක්‌ ගැන කතා කරන කොට එම පාලන ක්‍රමය ඇති වූ ආකාරය ගැන කතා කරන්න වෙනවා. අනෙක අපි මතක තබා ගතයුතු දෙයක්‌ තමයි 2015 ජනවාරි 08 දා පැවැත් වුණේ ජනාධිපතිවරණයක්‌. එයින් ජයගත් අය කටයුතු කළයුතුව තිබුණේ ජනතාව විසින් පත් කර තිබූ ආණ්‌ඩුවත් සමගයි. ජනතාව පත් කළ ඒ ආණ්‌ඩුව සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළා.

අනෙක ඔබ සඳහන් කළානෙ පසුගිය මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන දිනයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හා පක්‍ෂ ලේකම්වරු අයින් කිරීම පක්‍ෂ අභ්‍යන්තර ගැටලුවක්‌ සම්බන්ධයෙන් පක්‍ෂ සභාපතිවරයාගේ ක්‍රියාවක්‌ කියලා. හොඳයි අපි එහෙම කල්පනා කරමු. පක්‍ෂයේ සභාපතිම නේද රටේ ජනාධිපති. අනෙක එම ප්‍රකාශය ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක්‌ විදිහටයි ප්‍රවෘත්ති පළ වුණේ. පක්‍ෂයේ වැඩක්‌ නම් පක්‍ෂ කාර්යාලයෙන්නෙ නිවේදනය නිකුත් වෙන්න ඕනේ. මේ සියල්ල සිදුවූ ආකාරය හා සිදුවූ පරිසරය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කිරීමේදී ඒ කටයුතු පක්‍ෂ ව්‍යවස්‌ථාවට හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවත් සදාචාරාත්මක නැහැ.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ මේ රාජ්‍ය පාලන ක්‍රමය ව්‍යවස්‌ථාවට පටහැනි පාලන ක්‍රමයක්‌ කියලද?

පිළිතුර – අපේ රටේ මෙතෙක්‌ ක්‍රියාත්මක වී තිබෙන්නේ සමගි ආණ්‌ඩු ක්‍රමයක්‌. මේ පවත්වා ගෙන යන ආණ්‌ඩුව කිසිම අයුරකින් ජාතික ආණ්‌ඩුවක්‌ වන්නෙ නෑ. අනෙක්‌ කාරණය තමයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ සියල්ල හුදෙකලා කරලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අයත් කොටසක්‌ පමණක්‌ ආණ්‌ඩුවට සම්බන්ධ වීම. මේ තත්ත්වයත් එක්‌ක මේක හවුල් ආණ්‌ඩුවක්‌ කියන්නත් බෑ. ඒකයි මා මුලින්වත් සඳහන් කළේ මේ ආණ්‌ඩු ක්‍රමය පිළිබඳ මීට පෙර ලෝකයේ කිසිම රටකින් තොරතුරු වාර්තා වෙන්නෙ නෑ කියලා.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන්න උත්සාහ කරන්නෙ මේ ආණ්‌ඩු ක්‍රමය දීර්ග කාලීනව පවත්වා ගෙන යා නොහැකි බවද?

පිළිතුර – “දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග” වාගේ මේ ක්‍රමය තුළ අපි අවබෝධයෙන් කටයුතු කළොත් ආණ්‌ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. මෙම ආණ්‌ඩු පිහිටුවීමට මෙතෙක්‌ ක්‍රියාත්මක වී ඇති අදිසි හස්‌තයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපට ලොකු සැකයක්‌ ඇතිවෙනවා මේ ආණ්‌ඩුව මෙහෙයවන්නේ ජාත්‍යන්තර බලවේග ද කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසියම් ජාත්‍යන්තර බලවේගයකට මැදිවෙලාද කියන ගැටලුවක්‌ අපට ඇති වෙනවා. අපි එහෙම කියන්නෙ මේ මැතිවරණ ජයග්‍රහණයන් හමුවේ විදේශ බලවතුන් හැසිරෙන හැටි අධ්‍යයනය කළාමයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තරයේ තිබුණ භයානක අත පෙවීම අවසන් බවක්‌ පෙනෙන්න තියෙනවා. ඇමරිකානු රජයේ සහකාර රාජ්‍ය ලේකම් බිෂ්වාල් මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ කළ ප්‍රකාශය ඊට සාක්‍ෂියක්‌ නේද?

පිළිතුර – අන්න එතනම තමයි ගැටලුව තියෙන්නෙ. බිෂ්වාල් කියන්නේ ඇමරිකානු රජයේ සහකාර රාජ්‍ය ලේකම්වරියයි. ඇයට ලොකු වගකීමක්‌ ගන්න බලයක්‌ නෑනේ. ඊට වඩා ඉහළ අය ඉන්නවා. ඇත්තටම ඒ අය අපේ රට සම්බන්ධයෙන් නම්‍යශීලී හිතවත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරනවා නම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් ඒ පිළිබඳව සෘජු ප්‍රකාශයක්‌ කරන්න. අනෙක බිෂ්වාල් මහත්මියත් සඳහන් කළේ යුද අපරාධ සම්බන්ධ දේශීය යාන්ත්‍රණයක්‌ යටතේ පරීක්‍ෂණ ආරම්භ කරන එක අනුමත කරනවා කියලයි. ඒ අය මේ සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නෙ නෑ. එහෙම නැත්නම් ඒ නිර්දේශ ලිsහිල් කරනවා කීවේ නෑනේ.

ප්‍රශ්නය – ඔබ පක්‍ෂග්‍රාහීව අපේ රටේ ප්‍රශ්න දිහා හලනවා කීවොත්?

පිළිතුර – ඔව්. මම මගේ රටට පක්‍ෂවයි කතා කරන්නෙ. මට දේශපාලන පක්‍ෂයකට හිතවත්ව බුද්ධිමය සංවාදයක්‌ ඇති කරන්න අවශ්‍ය නෑ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මමත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපි අපේ රට හා රටේ ජනතාව ගැන තමයි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. රටේ නායකයන්ට වගකීම් වැඩි වුණාම ඔවුන් කරන කියන දේවල්වල හරි වැරැදි දකින්නෙ අපි. ඒවා පෙන්වා දෙන එක අපේ වගකීමක්‌ හා යුතුකමක්‌. මම මුලින්ම සඳහන් කළා වගේ මේ මැතිවරණවලදී ජනාධිපතිවරයා ක්‍රියාකර ඇති ආකාරය ගැන සතුටු වෙන්න බෑ. නිර්පාක්‍ෂිකව ඉන්න බව මුලදී සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය මැතිවරණයේ අවසන් අවස්‌ථාවේ එක්‌ පක්‍ෂයකට අවාසි වන අයුරින් කටයුතු කිරීම සාධාරණ නෑ.

ප්‍රශ්නය – මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙවර මැතිවරණයේදී පරාජය වුණේ නෑ. නමුත් එජනිස ට 2015 ජනවාරි ලැබුණු ලක්‍ෂ 58 ක ඡන්දය මෙවර තවත් අඩුවෙලා. ඒ ඡන්ද අඩු වුණේ ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ ආසන්න හැසිරීම හේතුකර ගෙනද?

පිළිතුර – ඒකත් යම් ආකාරයකට බලපෑම් ඇති කළා. ඒ වගේම එජනිස ප්‍රාදේශීය ක්‍රියාකාරීන් කෙරේ ජනතාව තුළ කලකිරීමක්‌ තිබුණා. ඒකත් ප්‍රබල හේතුවක්‌. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදීත් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වන බව මම නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළා.

ප්‍රශ්නය – අවසාන වශයෙන් ඔබට කියන්න පුළුවන්ද මේ අලුත් ආණ්‌ඩුක්‍රමය තුළ රටේ ඉදිරි ගමන කොයි වගේද කියලා?

පිළිතුර – මේ ආණ්‌ඩුක්‍රමය තුළ දෙමළ ජාතික සන්ධානයේ හැසිරීමත් ඉතාම වැදගත්. ඒ අය දැනටම ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් අපේක්‍ෂා කරන්නෙ බලය පැවරීමක්‌ කියලා. අනෙක විදේශ නියෝජිතයෝ ආවාම උතුරට ගිහිල්ල දෙමළ නායකයෝ එක්‌කත් කතා කරනවා. ඒ කතා කරන්නෙ මොනවද කියල අපේ නායකයෝ දන්නේ නෑ. අනෙක මේ රටේ දෙමළ ජනතාවගෙන් බහුතරය ජීවත් වෙන්නෙ උතුර නැගෙනහිර පළාත්වල නොවෙයි. එතකොට දෙමළ ජාතික ප්‍රශ්නය කියල උතුරු නැගෙනහිර තිබෙන ගැටලුව අප නිවැරැදිව හඳුනා ගන්න ඕනේ. එංගලන්තයේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයේ මික්‌මෝරි (Mick Moori) නමැති ආර්ථික විශේෂඥවරයා 1983- 84 වර්ෂවලදී අපේ රටේ අධික පෝසත් අය පිළිබඳව සමීක්‍ෂණයක්‌ කළා. ඒ සමීක්‍ෂණයේදී අපේ රටේ අධික පෝසත් පුද්ගලයන් 50 දෙනෙකු හඳුනා ගත්තා. ඒ අය ගෙන් 22 දෙනෙකු දෙමළ ජාතිකයන්. ඒ 22 ගෙන් එක්‌ අයෙකු පමණයි වතුකර ප්‍රදේශවලින් හඳුනා ගත්තේ. අනෙක්‌ 21 දෙනාම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව අතරින් තමයි හඳුනා ගත්තේ. ඒකෙන් තේරෙනවා අපේ රටේ පවතින්නෙ ජාතිවාදි ගැටලුවක්‌ද නැද්ද කියලා.

මේ කරුණු අවබෝධ කරගෙන ජන අනුපාතය අනුව කෝටා ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීම ගැන රජයේ අවධානය යොමු කළොත් ප්‍රශ්නයට ජාත්‍යන්තරය පිළිගත හැකි විසඳුමක්‌ දෙන්න පුළුවන්. රැකියා, දේශපාලන හා අනෙකුත් සියලු විෂයයන් සඳහා කෝටා ක්‍රමයක්‌ ඇති කිරීම තමයි හොඳම විසඳුම. නමුත් ඒකට උතුරේ දෙමළ නායකයන් කැමැති වේවි කියලා හිතන්න අමාරුයි. අපට පේන විදිහට නම් රටේ ඉදිරිය පැහැදිළි නෑ. අර්බුද බොහොමයක්‌ ඇති විය හැකියි. රටේ පාලකයන් කල්පනාකාරි නොවුන හොත් රට අරාජික වෙන්නත් පුළුවන්.

සාකච්ඡා කළේ –
ජයසූරිය උඩුකුඹුර
Source : Divaina