පුතාගේ ප්‍රධාන විවේචකයා වුණේ මම – ක්ෂේමා සංගක්කාර – kuma sangakkara main comentator is his farther

0
593
kuma-sangakkara

පසුගිය දා ක්‍රිකට් පිටියෙන් සමුගත්, කුමාර් සංගක්කාර පිළිබඳ ඔහුගේ පියාණන් වන ක්ෂේමා සංගක්කාර “ඉන්දියන් එක්ස්ප්‍රස්” වෙත තැබු සටහනකි මේ

කුමාර් පන්දුවට පහර දෙන ආකාරය නරඹද්දි, මා නිරතුරුවම රෙදි වැලක ඇති කොකු බවට පත්වන බව ආරම්භයේදීම පිළිගැනුමට කැමැත්තෙමි. එහි ශබ්දය කුමක්දැයි මා හරියටම නොදන්නා මුත්, ඔහු දැවි යාමට ආසන්න වෙද්දී කල්තියා එය හඳුනා ගැනීමේ ඉවක් මට තිබුණි.

එය යමක් ඉබේ වටහා ගැනීමේ ශක්තියක් යැයි කිව හැකි නමුත් කිසි දිනෙක මට වැරදුණේ නැත. එය පුතා පන්දුවට පහර දෙන ආකාරය දෙස බලා සිටීම තවත් නොඉවසුම් සහගත දෙයක් බවට පත් කළේය. කලින් කී කාරණය සම්බන්ධයෙන් කෙතරම් හැකියාවක් තිබුණේ ද කියතොත් කුමාර් දැවි යාමට පන්දු වාරයකට පමණ පෙර, එය සාමාන්‍යයෙන් මට දැනෙන්නට විය.

ක්‍රීඩාංගණයකට ගොස් සජීවීව, ඔහු පන්දුවට පහර දෙන ආකාරය නැරැඹීමට උනන්දු නොවීම සම්බන්ධව බලපෑ එක් හේතුවක් වූයේ එයයි. ගෙදරදී පවා කුමාර් ක්‍රීඩා කරන ආකාරය මා නැරැඹුවේ විටින් විටය. ඔහුගේ ශරීරය, ඇස ක්‍රීඩාවට අවැසි ආකාරයට නියම පරිදි ස්ථානගත වූවායැයි හැඟුණු පසු ඔහු ක්‍රීඩා කරන අයුරු නැරැඹීමි.

නිතරම පාහේ ඔහුගේ ප්‍රධාන විචාරකයා වූයේ මා ය. ඒ විවේචන බොහෝ විට කර්කෂ වූ අතර, ඒ බව හොඳින් ඔහු දනී. ලෝකයාට අනුව නම්, කුමාර් ඉහළ ගරු සම්භාවනාවට පත් වූ තාක්ෂණික රාමුවේ පිතිකරුවෙක් විය. නමුත් මගේ මතය අනුව නම් ඔහු ඒ මට්ටමට පැමිණියේ නැත.

තමන් සතුව පැවැති කුසලතා අනුව බලන කල මීට වඩා සෑහෙන හොඳට ක්‍රීඩා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඔහුගේ පිතිකරණ සාමාන්‍යය ගැරි සෝබර්ස් හා ග්රැහැම් පොලොක් හා සම මට්ටමක ඇති බව හැම කෙනකුම පැවසුවත් කුමාර් මීට වඩා යමක් කළ යුතුව තිබුණි. පන්දු යවන්නන්ට වෙහෙස මහන්සි වී තම කඩුල්ල දවා ගැනීමට ඉඩ දෙනු වෙනුවට ඔහු නිතරම තමන් දවා ගැනුමට පන්දු යවන්නන්ට ඉඩ හැරියේය.

මා විශ්වාස කරන අන්දමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පරමාදර්ශී පිතිකරුවා ශ්‍රීමත් ඩොනල්ඩ් බ්රැඩ්මන් ය. ඔහු තමන් ක්‍රීඩා කළ සෑම ඉනිම තුනකට වරක් ශතකය ඉක්මවා ලකුණු රැස් කර ඇත. යමකු ලෝක මට්ටමේ පිතිකරුවකු ලෙස සැලකෙයි නම් ඔහු එවන් දක්ෂතාවක් පෙන්නුම් කළ යුතුය. එසේ නමුත් කරුණාකර මා වරදවා වටහා නොගන්න. කුමාර් තම තරග දිවිය තුළ දී සෑහෙන යමක් කර තිබේ. නමුත් ඔහු තම සැබෑ ශක්තිය සම්පන්න ඉලක්කයට ළඟා වූවාදැයි යන්න සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මා විශ්වාස කරනුයේ එය එසේ නොවුණ බවය.

කුමාර් ක්‍රීඩාව ඇරැඹු කුඩා අවදියේ පටන්ම මම ඔහු සමඟ කටයුතු කළෙමි. නිරතුරුවම ඔහු ඉහළ ලාලිත්‍යයක් ඇති පිතිකරුවෙක් විය. කල් යල් බලා ඔහු පහර එල්ල කරන ආකාරයෙන් ඔබට එය දැකගත හැකි වන්නට ඇත. නමුත් ලාලිත්‍යය නොඑසේනම් රිද්මය හා තාක්ෂණය යනු සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. මා විශ්වාස කරන අන්දමට මහේල ජයවර්ධන සතුව ඊට වඩා හොඳ තාක්ෂණයක් හා තද ආරක්ෂාකාරී ක්‍රීඩා ශෛලියක් තිබුණි.

කුමාර් සතුව පැවැති ඉවසීම හා අධිෂ්ඨානය නිසා ඔහුට මහේලට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් හා පිතිකරණ සාමාන්‍යයක් සහතික කරන ලදී. නමුත් තණතිල්ල මැදදි මහේල, මාවන් හා අරවින්ද වැන්නවුන් තම ක්‍රීඩාව හොඳින් පාලනය කළ බව තවමත් මගේ විශ්වාසයයි.

කෙටි පන්දු හමුවේ කුමාර් නිතරම දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ අතර, ඔහු සතුව ඉතා හොඳ පසුපාදයේ තාක්ෂණයක් පැවතුණි. මහනුවර පිහිටි තණතිලිවල දකුණේ වෙනත් ප්‍රදේශවල ඇති තණතිලිවලට වඩා ඉපිලීමක් හා පන්දුව කඩුලු රකින්නා වෙත වේගයෙන් ගලා යෑමක් නිරතුරුවම දැකගත හැකිය. කුමාර් එබඳු තණතිලිවල ක්‍රීඩා කර තම පිතිකරණ හැකියාවන් දියුණු කරගත්තේය. තම තරග දිවියේ මුල් කාලය තුළදී වැඩි වශයෙන් දඟ පන්දු යවන්නනට මුහුණදීමේ අර්ථයෙන් මහේල වාසනාවන්ත විය.

තම තරග දිවියේ මුල් සමයේදී දඟ පන්දු යවන්නන් හමුවේ නිසි ලෙස පාද චලනය නොකළ කුමාර්, ඔවුන් හමුවේ පහසුවෙන් ක්‍රීඩා නොකළ මුත් ක්‍රමයෙන් ඔහු ඒ සම්බන්ධව දියුණුවක් පෙන්වූයේය. නමුත් ඒ සඳහා ළඟාවීමට ඔහු වැඩි කාලයක් ගත් බව මගේ හැඟීමය.

මා වඩාත් අගය කරන පිතිකරුවකු වන්නේ සුනිල් ගවස්කාර් ය. ඉවසීම හරහා පන්දු යවන්නන් දමනය කරගැන්මෙන් පසු තම පිතිකරණ ගබඩාවේ ඇති පහරවල් මඟින් ඔවුන්ගේ අභිමානය කීතු කර දැමීම ඔහුගේ ක්‍රමයයි. සැබැවින්ම සාර්ථක පිතිකරුවකු බොහෝ විට ශූර බොක්සිං ක්‍රීඩකයකු බඳුය. බොක්සිං ක්‍රීඩාවේදී සටන ජය ගැනුමට නම් 12 වන එනම් අවසන් වටය තෙක් රැඳී සිටීමට සිදු වේ. බ්රැඩ්මන් හා ගවස්කාර් දෙස බැලීමට හා ඔවුන් ගැන කියවීමට යොමු කරමින් කුමාර් ගොඩනැංවීමට මම වග බලා ගත්තෙමි. කුමාර් ස්වාභාවික හැකියාවන්ගෙන් යුක්ත ක්‍රීඩකයකු යැයි මා නොකියන මුත්, ඔහුට මනා නිපුණතා‍වයෙන් යුතු දෑතක් තිබුණි.

බොහෝ දෙනා නොදන්නා මුත්, ඔහු ඉතා දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහුගේ පළමු ක්‍රීඩාව වූයේ ටෙනිස්ය. කුමාර්ගේ සහෝදරිය වන සාරංගා ඔහුට වඩා දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක වූවාය. ටෙනිස් ක්‍රීඩාවෙන් ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාව දිනද්දී ඇයට යන්තම් අවුරුදු 15 ක් වූවා පමණි. මධ්‍යම කඳුකරයෙන් පැමිණ එබඳු දක්ෂතාවක් පෙන්නුම් කළ එකම ටෙනිස් ක්‍රීඩිකාව ඇය බව මගේ විශ්වාසයයි. පසුව ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගිය ඇය එහිදීත් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් විශිෂ්ට අනාගතයක පෙරමඟ ලකුණු දැල්වූ මුත් උරහිසේ හටගත් අබාධය ඇගේ තරග දිවියට තිත තැබිණි. ටෙනිස් ක්‍රීඩාවේදී ඇගේ සමහර පහරවල් හමුවේ ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩකයෝ පවා අසරණ වූහ. සාරංගා එතරම්ම දක්ෂ ක්‍රීඩිකාවක් වූවාය.

ටෙනිස් පිටිය තුළදී කුමාර් ද දක්ෂ හැකියාවන්ගෙන් යුක්ත ක්‍රීඩකයෙකු විය. නමුත් දිනක්, පවුලේ සාමාජිකයන් අතර පැවැති ටෙනිස් තරගයකදී සාරංගා හමුවේ පිරිමියකු වූ කුමාර් පරාජය විය. එය හොඳටම ප්‍රමාණවත් විය. ඉන්පසු කිසිම දිනෙක ඔහු බැරැරුම් ලෙස ටෙනිස් ක්‍රීඩා කළේ නැත. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු වඩාත් ආශක්ත වූයේ එම පරාජයෙන් අනතුරුවය. එසේ වුවත් ඔහු මා සමඟ ‍එකඟ නොවන බව මට විශ්වාසය.

කුමාර් හා මා අතර නිතර වාද විවාද පැවැති අතර, ඉන් බහුතරයක් ක්‍රිකට් පිළිබඳව විය. මට මෙන් නොව ඔහුට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය හා දේශපාලනය සම්බන්ධයෙන් වඩාත් අලුත් අදහස් විය. ලෝකය පුරා සංචාරය කිරීම තුළ ඔහු විශාල දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඇති වගක්, එහිදී පෙනෙන්නට තිබුණි. සෑම කාරණයක් පිළිබඳව ඔහුට මතයක් තිබුණි. නමුත් ඒ බොහෝ ඵලදායී සංවාදවලදී මා ඔහු අබිබවා ගිය බව මගේ අදහසයි. මගේ බිරියට අනුවනම්, කුමාර් බොහෝ දුරට මා වැනිය. ඒ නිසාම අපි දෙදෙනාම සැම දෙයක් පිළිබඳවම තම තමන්ගේ අදහස් හා මතවාද සම්බන්ධයෙන් එක සමාන ලෙස ඇට්ටර වූවෝ වීමු.

කුමාර් ක්‍රීඩා කළ ඉනිම අතරින් ඔස්ට්‍රේලියාවට එරෙහිව පරාජය අබියස හිඳිමින් හෝබාර්ට් හිදී රැස්කළ ලකුණු 192 සෑහෙන කතාබහට ලක්වූ අතර එය කුමාර් ක්‍රීඩා කළ ඉනිම අතරින් මගේ ද ප්‍රියතම ඉනිමය. එය සම්පූර්ණ ඉනිමක් විය. එසේම ලෝක කුසලාන තරගාවලියේ තරග 4 ක් ඇතුළත ඔහු ලැබු ශතක හතර ද ඉහළ දක්ෂතා පෙන්නුම් කරන්නක් විය.

විශිෂ්ටයන්ගේ මුද්‍රාව වැදී ඇති පිතිකරුවෝ රැසක් ලොව සිටිති. නමුත් මා නම් සලකනුයේ අවුරුදු තිස්පහ සම්පූර්ණ වීමෙන් පසු එනම් ඔවුන්ගේ ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය මන්දගාමී වූ පසු දක්ෂතා දැක්වූවන් සැබෑ විශිෂ්ටයන් ලෙසටය. අවුරුදු තිස්පහ සම්පූර්ණ වීමෙන් පසු කුමාර් විශාල වශයෙන් ලකුණු රැස්කළ බව මම පිළිගනිමි. බොහෝ දෙනකු පවසනුයේ ඔහු ඉහළම පිතිකරණ රිද්මයට පැමිණියේ ඒ යුගයේ බවය. ඊට පෙර, ඒ රිද්මය සොයා ගත්තේනම්, ඉතා පහසුවෙන් මීට වඩා ශතක හා ලකුණු රැස්කිරීමේ හැකියාවක් කුමාර්ට තිබුණි.

පුතා ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්, ක්‍රිකට් මගේ හදවතට ඒ හැටි සමීප නොමැත. කුමාර් ඉහළ අවංකත්වයකින් යුක්තව ක්‍රිකට් ක්‍රීඩා කළ මුත් එය තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස මට හැඳින්විය නොහැක. අයි. පී. එල්. තරගාවලියේ හා විස්සයි 20 ක්‍රීඩාව තුළදී අපට නිතර අසන්නට ලැබුණ දූෂිත භාවිතාවන් පහසුවෙන් නොමැකිය හැකි සේ ක්‍රීඩාවේ ප්‍රතිරූපය වසා සිටී.

කුමාර්, අයි. පී එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම එතරම් ගැටලුවක් නොවුණ මුත් එහිදී ඔහුගේ සැබෑ දක්ෂතාවය නම් මතු වූයේ නැත. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක ශූරයන් බවට පත්වෙද්දී පවා කුමාර් එම කණ්ඩායමේ සිටි මුත් එම මාදිලිය තුළ ඔහු ඉහළ තත්ත්වයට නොපැමිණි බව මගේ අදහසයි.

තමන් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව කුමාර් පැවසු ‍මොහොතේදී මට ඒ පිළිබඳ කනගාටු වීමට හෝ දුක් වීමට තරම් කාරණයක් නොවීය. සමුගැනීමේ කාලය පැමිණ ඇති බව අප දෙදෙනාගේම අදහස විය. ඒ තුළ තවදුරටත් එල්ලි සිටීමේ හේතුවක් නොමැති බව දෙදෙනාගේම පොදු අදහස විය.

මගේ දියණිය තුෂාරි සහ ඇගේ දරුවන්ගේ සුව දුක් විමසා බැලීමට මේ දිනවල මට බොහෝ විට නුවර සිට කොළඹ පැමිණීමට සිදුව ඇත. මගේ මුනුපුරා වන මෙත්වන් ගැන මට දැඩි විශ්වාසයක් තිබේ. කුමාර්ගේ සහ සාරංගාගේ මිශ්‍රණයක් දැකිය හැකි මෙත්වන් අනාගතයේදී විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයකු වන ලකුණු දැනටමත් පහළ කොට තිබේ.

කුමාර්, තම අනාගතය සැලසුම් කර ඇති ආකාරය මා දන්නේ නැත. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඔහු නීති විෂය ඉගෙනීම ඒ තරම් බැරැරුම්ව ගනු ඇතැයි විශ්වාසයක් මට නොමැත. ඒ සඳහා මම ඔහුට අවවාද දෙන්නේ ද නැත. දැන් ඔහු තිස්හත් හැවිරිදිය. නීති අධ්‍යාපනය නිම කිරීමට තවත් වසර 05 ක් වත් ඔහුට ගත වන අතර, එම ක්ෂේත්‍රයේ ස්ථාවර වන විට අවුරුදු 50 සීමාව ඉක්මවා යනු ඇත. ඒ නිසා ඒ පිළිබඳ තර්කයක් නොමැති තරම්ය.

ඒ වෙනුවට ඔහුට නව අභියෝගයක් යොමු කිරීමට මා කැමැති අතර, එය ඔහු භාරගනු ඇති බව මගේ විශ්වාසයයි. ඔහු බැරැරුම් ලෙස ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වනු දැකීම මගේ කැමැත්තයි. ලාලිත්‍යයෙන් හා මනා නිපුණත්වයෙන් යුත් දෑත් එම ක්‍රීඩාවේ හොඳ ස්ථානයක ඔහු රඳවනු ඇති බවට මට කිසි සැකයක් නොමැත. මේ දක්වා දශක දෙකකට ආසන්න කාලයක් ඔහු වෘත්තීය ක්‍රීඩකයකු ලෙස කටයුතු කර තිබේ.

එම තරගකාරි ජීව ගුණය කිසිදා නැතිව යන්නේ නැත. ගොල්ෆ් ක්‍රීඩාව ඒ සඳහා ඔහුට හොඳ අවස්ථාවක් සපයනවාට අමතරව, තවත් වසර 30 ක කාලයකට ඔහුට එම ක්‍රීඩාව පහසුවෙන් කරගෙන යා හැකිය. ඊට කිසිසේත්ම වයස බාධාවක් බව පෙනෙන්නට නොමැත. ඒ සමඟ තවත් දෙයක් සහතිකවම පැවැසීමට හැකිය. ඒ ගොල්ෆ් පිටියකදී ඔහු ක්‍රීඩා කරනවා දැකීම කුමාර් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආකාරය දෙස බලා සිටිනවා මෙන් අඩක හෝ ආතතියක් මට ගෙන නොඑන බවය.