දැන්වත් හරි දේ කරමු

0
553

ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව සැප්තැම්බර් 01 සහ 02 දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙය රටක්‌ වශයෙන් අපට අතිශය වැදගත් සමුළුවක්‌ බව කිව යුතුය. අප විශ්වාස කරන්නේ පසුගිය වර්ෂවල පැවැති ආරක්‍ෂක සමුළුවලදී පවා ශ්‍රී ලංකාවේ මතුව ඇති යම් යම් සිද්ධි සම්බන්ධයෙන් ‘යමක්‌’ කරන්න නොහැකිවූ බවය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවා සෘජු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන තත්ත්වයක්‌ තිබේ.

පසුගිය මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ගෙන ආ යෝජනා ඉදිරියේ සෘජු ප්‍රතිපත්තියක පිහිටා සිටියේය. එහෙත් එවැනි තත්ත්වයක්‌ තුළ පවා යුද අපරාධ චෝදනාවන්ට එරෙහිව නිවැරදි පණිවුඩයක්‌ ජාත්‍යන්තරයට ගෙන යන්නට වගකිවයුතු කිසිවෙකුටත් නොහැකි විය. විශේෂයෙන් විදෙස්‌ රටවල ක්‍රියාත්මක මෙරට තානාපති කාර්යාලවල නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රයක්‌ සහිත සන්නිවේදන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ නැත. විශේෂයෙන් කොටි ඩයස්‌පෝරාව සමාජ ජාල වෙබ් අඩවි, ඊමේල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ගැනත්, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ගැනත් ‘නපුරු’ චිත්‍රයක්‌ මවා පාද්දී ඊට එරෙහිව වගකිවයුතු කිසිවෙකුත්, කිසිවක්‌ කළේ නැත. කැලම් මැක්‌රේ යුද අපරාධ චිත්‍රපට දුසිම් ගණනින් නිර්මාණය කරද්දී, සැප්තැම්බරයේ ජිනීවා සමුළුවට පෙත්සම් ලියද්දී කිසිවෙකුත් කළ දෙයක්‌ නැත.

ඒවා කරන්නට බැරි ‘අමාරු වැඩ’ යෑයි යමෙක්‌ සිතන්නේ නම්, ඒ සඳහා එළැඹෙන ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව හෝ යොදාගත හැකි යෑයි අපි යෝජනා කරමු. යුද අපරාධ චෝදනා සියල්ල සාවද්‍ය යෑයි කියන්නට ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව වැදගත් වන්නේ ඇයිs? විශේෂයෙන් මෙම සමුළුවට රටවල් 50 ක පමණ ආරක්‍ෂක නියෝජිතයෝ සහභාගි වෙති. එපමණක්‌ නොව ඒ බොහෝ දෙනෙක්‌ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති නියෝජිතයෝa වන්නාහ. මේ පිරිස අතරේ යුද අපරාධ චෝදනාවේ සැබෑ තත්ත්වය කවරක්‌ද යන්න හෙළි කිරීමට ලැබීමම අගනා අවස්‌ථාවක්‌ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ජාත්‍යන්තරයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි නම්‍යශීලී පිළිවෙතක්‌ අනුගමනය කරන්නට පටන්ගෙන තිබේ. එය යුද අපරාධ චෝදනා එල්ල වූ මුල් අවධියේ සහ ඊට පසු අවධියට වඩා වෙනස්‌ ප්‍රවණතාවකි. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ඊට ගැළපෙන පරිදි සන්නිවේදන යාන්ත්‍රණයක්‌ සැකසීමය.

2008 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදාව ම්ලේච්ඡ ඝාතන මෙහෙයුමක්‌ දියත් කළ බව කියන, සිවිල් වැසියන් ඝාතනය කළ බව කියන කැලම් මැක්‌රේ, එය සනාථ කරන්නට යොදා ගන්නේ චිත්‍රපටය, පෙත්සම් ය. කැලම් මැක්‌රේ සමඟ එක පෙළට සිට මේ නාඩගම නටන කොටි ඩයස්‌පෝරාවද, ශ්‍රී ලංකාවේ ඊට අඩව් අල්ලන පිරිසද අමතක කළ යමක්‌ තිබේ. ඒ, 2008 වර්ෂයේදීම එෆ්. බී. අයි. ආයතනය (F.B.I) විසින් මුළු ලෝකයේම දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානය වන්නේ කොටි සංවිධානය බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත්කළ බවය.

දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ සමඟ සටන් වැද පරාජය කිරීම යනු යුද අපරාධ නොව ජාත්‍යන්තර යුද නීතියේ විධි විධානය. ජිනීවා යුද අපරාධ විමර්ශන කමිටුව මෙන්ම තවත් බොහෝ දෙනකු පැහැදිලි නොකරන්නේ යම් රටක්‌ යුද අපරාධ කළා යෑයි කියන්නට ජාත්‍යන්තර යුද නීතියේ ඇති මිනුම් දඬු කවරේද යන්නය. ඒ මිනුම් දඬු වලට අනුව ප්‍රභාකරන්ගේ අන්aතවාදී ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී නඩ සිදුකළ අති අමානුෂික ඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අයත් වන්නේ කවර අපරාධ ගණයටද යන්න කිසිවෙකුත් පැහැදිලි කරන්නේ නැත.

දැන් අවශ්‍ය වී ඇත්aතේ ඒ පණිවුඩය කැලම් මැක්‌රේගේ චිත්‍රපට වලට නොදෙවෙනිs ‘වාර්තා චිත්‍රපට’ ලෙස ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමය. කැලම් මැක්‌රේගේ හා කොටි ඩයස්‌පෝරාවේ පෙත්සම් ලෙස නොව, තත්ත්වය අවබෝධ කරගත හැකි ‘ලියවිල්ලක්‌’ ලෙස ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමය. ආරම්භයේදීම සටහන් කළාක්‌ මෙන් අන්තර්ජාලය ඊට රිසි පරිදි යොදාගත හැක. ‘අමාරුම’ නම් එළැඹෙන ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව ඊට වඩාත් සුදුසු යෑයි අපි නැවත නැවතත් සඳහන් කරමු.

Source : Divaina