වැරදි මඟ ගියොත් හරි මඟ නොපෙනේවී

0
811

මට ලොකු පුතෙකුයි, වැඩිවියට පත් දුවෙකුයි ඉන්නවා. කලාපෙ රස්සාවට ආවේ ලොකු පවුලක් නඩත්තු කරන්නයි. ම‍ගේ මනුස්සයා දාලා ගියාට පස්සේ දරු දෙන්නගේ බර මා පිට පැටවුණා. මගේ අම්මයි තාත්තයි වයසයි. ගෙදර කසාද නොබැඳපු නංගි කෙනෙකුයි, ඉස්කෝලෙ යන මල්ලියි ඉන්නවා. ගෙදර වියදමට කලාපෙ රස්සාවෙන් හම්බකරන තුට්ටු දෙක මොනවා කරන්නද? ධනසිරි මුදලාලි හින්දා මගේ පවුලේ අඩුපාඩු බොහොමයක් පිරිමැහුණා. එම හේතුව නිසා ධනසිරි මුදලාලි නැතුව අපට පැවැත්මක් නැතිව ගියා. කෙසේ හෝ ධනසිරි මුදලාලි හින්දා ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තාම ඔහු පෙති වගයක් ගෙනත් දුන්නා. ඒත් ළමයා නැතිඋනේ නෑ. එක එක බොරු කිය කිය මගෙ බඩ පේන එක අනිත් අයගෙන් වහන් කර ගත්තා. ළමයා හම්බවෙන්න අමාරුඋනාම කෝවින්න ඇළ ළඟට ගියා. වේදනාව වැඩිකමට කෑ ගැහුණත් කැලෑව හින්දා කාටවත් ඇහුණෙ නෑ. ළමයගේ පෙකණිවැල කැපුවේ බ්ලේඩ් තලයකින්. මම ළමයව ඇළ අයිනෙන් තිබ්බා. මගේ යටි කය සෝදගත්තෙත් ඇළේ වතුරින්. වතුර රතුපාට වෙලා. ළමයා කෑගහන නිසා මම බයට එතැනින් නැගිටලා බෝඩිමට ආවා.”

අලුත උපන් කිරිකැටි බිලිඳා කටුනායක, ආඬ්අම්බලම, කෝවින්න ඇළට දමා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රම ආරච්චිගේ කුසුමාවතී නමැත්තියට එරෙහිව මීගමුව ම‍හේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී ඇය, මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විත්තිකූඩුවේ සිට පාපොච්චාරණය කළාය. කටුනායක පොලිසිය මඟින් කුසුමාවතී අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කුසුමාවතීගේ ගම් පළාත තණමල්විල සූරියආර, කහකුරුල්ලන් පැළැස්සයි. අ.පො.ස සා.පෙළ දක්වා අධ්‍යාපනය ලබා සිටි, ඇය ජීවත් වූයේ තම මහගෙදරට යාබද පැල්කොටයකය. හේන් ගොවිතැනින් ජීවත් වූ තම දෙමාපියන් හා තම පවුල ආරක්ෂා වූයේ කුසුමාවතීගේ සැමියා වූ සමන් ධම්මිකගේ හයියෙනි. සමන් ධම්මික වෙනත් කාන්තාවක සමඟ මිත්‍රව ගමෙන් බැහරව ගිය පසු මෙම පවුල පත්වූයේ ඉතාමත් අසරණ තත්වයකටයි.

වෙනත් කළ යුතු දෙයක් නුවූ තැන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවකට යාමට ඇය තීරණය කළාය. ආඩ්අම්බලම කෝවින්න ඇළ ප්‍රදේශයේ බෝඩිං කාමරයක් ඇගේ නවාතැන්පළ විය.

කුසුමාවතී නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාවක ලෙස රැකියාවේ යෙදුණේ සේවාමුර ක්‍රමයටය. ඇතැම් දිනවල පැය 08 ඉක්මවා දිගමට වැඩ කළේ වැඩි අතිකාල දීමනා ලැබෙන බැවිනි. උයන පිහන අඩුම කුඩුම, සිල්ලර තුනපහ බඩු, සීනි, තේකොළ ඈ සියල්ලක්ම කුසුමාවතී මිලට ගත්තේ හන්දියේ ධනසිරි මුදලාලිගේ කඩයෙනි. කඩයට යන එන අතරවාරයේ මුදලාලි කුසුමාවතීට විශේෂත්වයක් දැක්වීය. “කුසුමා ඔයාට මොනවහරි අඩුපාඩු තියනව නම් ලැජ්ජා වෙන්නෙ නැතුව කියන්න. ඔය සල්ලි තියන වෙලාවක දෙන්න බැරියැ.” එහෙත් ඇය ලබාගත් බඩුවලට මුදලාලි කිසිදිනක මුදල් ආපසු ඉල්ලා නොසිටි අතර ඒ වෙනුවට ඇගෙන් බලාපොරොත්තු වූයේ අනියම් ඇසුරකි.

මුදලාලි කඩයට බඩු ගෙන ඒම සඳහා බොහෝවිට පිටත් වන්නේ කුසුමාට නිවාඩු දිනවලය. මේ දෙදෙනා සති දෙක තුනකට වරක් හමුවීමට තෝරාගෙන තිබුණේ කටුනායකට දුරින් පිහිටි නවාතැනකි.

කුසුමාවතීට, ඇඟලුම් කම්හලේ රැකියාවෙන් ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ධනසිරි මුදලාලි ලබා දුන්නේය. ඒ නිසා ඇගේ නිවසට වැඩි මුදලක් යැවීමට ඇයට හැකියාව ලැබුණි. සිංහල අලුත් අවුරුද්දට කුසුමාවතී නිවසට ගියේ උතුරා යන සොම්නසිනි. තම දරු දෙදෙනාට, මවුපියන්ට, සහෝදර සහෝදරියන්ට, කෑම බීම, රෙදිපිළි, තෑගි බෝග බොහොමයක් රැගෙන යාමට හැකි වූයේ ධනසිරි මුදලාලි නිසාය. ගෙදර අයට අතහිත පිරෙන්නට වෙන කවරදාකටත් වඩා බො‍හෝ ‍දේ ඈ රැගෙන ගියාය. ඇය දරුවන්ට කොළඹින් රැගෙන ගිය ඇතැම් සෙල්ලම් බඩු තණමල්විල ගැමියන් දැකලාවත් නැත.

පෙරළා නවාතැන්පළට පැමිණි කුසුමා ඇඟලුම් කම්හලේ වැඩකළේ ද පෙර නොවූ විරූ ප්‍රීතියකිනි. මුදල් අතින් ද ඇයට කිසිදු හිඟපාඩුවක් නොවීම ඊට හේතුවයි. මොකද බං උඹ කවදාවත් නැති තරං සතුටින්. කුසුමා සමඟ එකට රාජකාරි කරන මිතුරියන් ඇසුවේ පෙර නොවූ විරූ සතුටක් කුසුමා කෙරෙන් දිස්වූ නිසාය.

කුසුමාගේ බෝඩින් කාමරයේ ඈ ජීවත් වූයේ තනිවමය. කෙමෙන් කාලය ගතවෙද්දී කුසුමාගේ ශරීරයට වෙනසක් දැනෙන්නට විය. දිනපතා රාජකාරි කරද්දී පවා දැඩි විඩාපත් බවක් දැනෙන්නට වූ අතර, දිනක් හිමිදිරියේ වමනය ඇතිවී ක්ලාන්ත වීමෙන් ඇය තැති ගත්තාය. සිතූ පරිදිම මේ වනවිට ඇය මුදලාලි නිසා ගැබිනියක වී තිබුණි. මේ ගැන මුදලාලි සමඟ පැවසීමෙන් පසු මුදලාලි ඇයට බෙහෙත් පෙති කීපයක් ගෙනැවිත් දුන්නේය. එයින් වමනය නැවතී ඇයට සහනයක් දැනුණි.

එහෙත් ඇයට නිට්ටාවට සුවයක් නොලැබුණි. නැවතත් ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා පැවසුවේ මේ වනවිට ඇය තෙමස් ගැබිනියක බවයි. කුසුමාවතී මෙයින් මහත් කැළඹිල්ලට පත්වූ අතර අන් කළහැකි දෙයක් නොවූ නිසා මේ රහස කාගෙනුත් වසන් කරගැනීමට කටයුතු කළාය. කුසුමාගේ ගතේ වේදනා කොතෙක් තිබුණ ද ඒවා පුදුමාකාර ලෙස ඉවසා දරා ගනිමින් කලාපයේ රැකියාවේ යෙදුණාය.

කුසුමාගේ කුස ඉදිරියට නෙරාඒම ගැන යම් යම් අය ප්‍රශ්න කිරීමේදී ඇය එක එක අයට පරස්පර විරෝධී දේ කීවාය. තම උදරයේ ගෙඩියක් ඇති බව ඇතැමුන්ට කී අතර, තවත් අයට කීවේ තමන් උදරය ඉදිරියට නෙරා ඒමේ රෝගයකින් පෙළෙන බවයි. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබන බවද කියා සිටියාය. කුමන ප්‍රශ්න මධ්‍යයේ වුවද මුදලාලි තමන්ට සැලකීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.

එය සිකුරාදා දිනයකි. ඇඟට දැනෙන තදබල වෙහෙස නිසා කුසුමාවතී එදින වැඩපළට නොගොස් නිදාගෙන සිටියාය. ඇගේ ශරීරයට වෙනසක් දැනෙන්නට වූ හෙයින් කතුරක්, බ්ලේඩ් එකක් හා චීත්තයක් රැගත් ඇය කෝවින්න ඇළ සමීපයේ පිහිටි කැළෑ රොදට වැදුණාය. ඉවසාගත නොහැකි ප්‍රසූත වේදනාව පුදුමාකාර ඉවසීමකින් දරා යටපත් කරගැනීමට ඇය සමත් වූවාය. පැය භාගයක පමණ අධිකතර වෙහෙසකින් පසුව කුසුමාවතී කෝවින්න ඇළ අසලදී දුවක බිහි කළේ කාගේවත් පිළිසරණක් නොමැතිවය. බ්ලේඩ් එකෙන් පෙකණිවැල කැපීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන් තියුණු කතුරින් පෙකණිවැල කපා දැම්මාය. බිළිඳා දිගින් දිගට ම හඬන්නට වූයෙන් අපහසුවෙන් නැගිට ගත් ඇය දරුවා ඇළ අසලින් තැබුවාය. රක්ත වර්ණ රුධිර ධාරාවෙන් ඇගේ ශරීරය තෙත් වී තිබුණි. කෝවින්න ඇළෙන් ඇය සිරුර පිරිසුදු කර ගනිද්දී ඇළේ වතුර රතුපාට විය. බියපත් වූ ඇය වහ වහා බෝඩිම කරා ඇදුණාය.

බිලිඳු මළ සිරුරක් කෝවින්න ඇළේ පාවෙනවාය යන සිද්ධිය ලැව්ගින්නක් මෙන් ‍ගමේ පැතිර ගිය විට එම සිද්ධිය දැකබලා ගැනීමට බොහෝ පිරිසක් එහි ළඟාවූහ. එහෙත් මෙතනට කුසුමාවතී ගියේ නැත. ඇය බෝඩිමට ම වී තැතිගෙන සිටියාය. කටුනායක පොලිසිය වහා ක්‍රියාත්මක විය. ගමේ ගැහැනුන් කුසුමාවතී සැක කළද, ඇය පසුවූයේ මේ ගැන හාංකවිසියක්වත් නොදන්නා අයෙකු ලෙසිනි. බඩේ ගෙඩිය ඉවත් කළ බව ඈ කියා සිටියාය. පොලිසිය විසින් ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී ලේ තැවරුණු කතුරක් හා රුධිරය සහිත චීත්තයක් හමුවීම නිසා මෙම සිද්ධියට සැකපිට කුසුමාවතී අත්අඩංගුවට ගනු ලැබීය. ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයට සියල්ල වැමෑරීමට සිදුවිය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ඇයට මීගමුව මහේස්ත්‍රාත්වරයා දඩයක් හා සිරදඬුවමක් නියම කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හොරණ පොකුණුවිට සඳවිමල සෙනසුන්වාසී ශාස්ත්‍රපති පණ්ඩිත පැලැන්වත්තේ ධම්ම රක්ඛිත හිමිපාණන්‍ මෙසේ පැවසූහ.

“මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය ‍නොවෙයි. ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි බලාපොරොත්තු ‍නැති විදිහට වැරදි කිරීමට පසුබිම සැකසෙන්නෙ පුදුමාකාර විදිහට. ඇස්වලට පෙනෙන්නේ නැති යම් යම් බලවේග විසින් අප එවැනි අගාධවලට ඇද දමනවා. ඒවා සංසාර බලවේග. අපව අසරණ කරලා පාපයට වට්ටන්නෙත් අකුසල බලවත් නිසයි. මේ කාන්තාවගේ ජීවිතය පුරා ගත‍හොත් ඇය අසරණ කරලා පාපයට ඇද දමනවා. මෙහිදී එක පුද්ගලයෙක්ට වරද පටවන්න බැහැ. සංසාර සාගරේ පසුගිය ආත්මවල සිදුකරන ලද අකුසල කර්මවලට විපාකදීමට මේ ආත්මභවයේ ඉඩහසර සලසා දෙනවා. මේ අත්බවේ ඇගෙන් සිදුවූ වරද, අනියම් සබඳකම් පටන්ගත් එකයි. ඇය නිත්‍යානුකුල සැමියකු සොයා ගත්තා නම් ගැටලුවක් නැහැ. සාදාචාර විරෝධී දේවලින් වැළකිය යුතුයි. අටලෝ දහමේ ඵලයක් ලෙස අප වෙත පැමිණෙන අකුසල විපාකයකින් මිදීම සඳහා තවත් අකුසලයක් නොකළ යුතුයි. දුරාචාරයට නොවැටී නිත්‍යනුකූලව ප්‍රශ්නවලට විසඳුම් සොයනවා නම් යහපත්. මේ වගේ සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ සමයේත් තිබුණා. පටාචාරා වගේ අසරණ වූ කතුන්ට බුදුරජාණන් වහන්සේ පිහිටවුණා. වර්තමාන සමාජයේත් මෙවන් සිදුවීම් බහුලයි. මෙවන් අය දෙස සානුකම්පිත දෘෂ්ඨිකෝණයක් හෙළීම සැබවින්ම වැදගත් දෙයක්. පවුකාරියක් කියලා ගල්ගසලා පැත්තකට කිරීම සුදුසු නැහැ. හැබැයි ඇය කළ වරද ඇයට අවබෝධ කර දිය යුතුයි. මන්ද ඇයට සමාජ අසාධාරණයක් සිදුවී ඇති නිසයි.

එසේම හැකිතාක් දුරට වරදින් වැළකී පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත්විය හැකි නම් සුචරිතවත් සමාජයක් ඉබේට ම බිහිවී ගැටලු අවම වනවා නොඅනුමානයි.

(සංසාර සාගරේ පළවන්නේ සත්‍ය සිදුවීම් වන අතර කතා පුවතේ නම් ගම් පමණක් මනඃකල්පිතය)