ජිනීවා සමුළුවට ටොක්‌කක්‌

0
584

අගමැති පදවියට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රථම විශිෂ්ටතම ප්‍රකාශය ඊයේ පුවත්පත්වල පළවී තිබිණි. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ පරීක්‍ෂණයකට ජාත්‍යන්තරයට අයිතියක්‌ නෑ යන්නයි. රනිල් ඒ ප්‍රකාශය කර තිබුණේ “ද හින්දු” පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදීය.

රනිල් “ද හින්දු” පුවත්පතට කියන පරිදි ජාත්‍යන්තර ප්‍රජාව එවැනි පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටින්නේ ඔවුන්ට මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති නිසාය.

රනිල්ගේ මෙම ප්‍රකාශය මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයෙහි බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක්‌ බව පැහැදිලිය. ඔහු Rජුවම ප්‍රකාශ කර ඇත්තේ යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කිරීමට ජාත්‍යන්තරයට අයිතියක්‌ නැති බවය. එය එජාපයේද ස්‌ථාවරය බව ඔහු පැහැදිලිව කියා තිබේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කුරිරු එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරදවා යුද ජයග්‍රහණයක්‌ අත්පත් කරගත් මොහොතේ සිට බොහෝ දෙනෙක්‌ රනිල්ගේ මේ ‘රූපය’ දැක්‌කේ නැත. කොටි සමග ගිවිසුම් ගසන, ජාත්‍යන්තරයට කේලාම් කියමින්, යුද වීරයන් විදුලි පුටුවට ගෙනයන රනිල් මිස ජාත්‍යන්තරයට එවැනි ඇඟිලි ගැසීමක්‌ කළ නොහැකි යෑයි කියන ‘රනිල්’ කිසිවකුත් දැක තිබුණේ නැත. ‘රනිල් කොටියා’ වූවා මිස, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ගැනත්, රට පිළිබඳවත් මෙවැනි විශිෂ්ට දේශපාලන දැක්‌මක්‌ රනිල් සතුව තිබෙන බව බොහෝ දෙනකු විශ්වාස කළේ නැත. වෙනකක්‌ තබා එවැනි විශ්වාසයක්‌ සමහර එජාප දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් තුළ තිබුණා ද යන්නත් සැක සහිතය.

මෑතකදී රනිල්, හිටපු ජනපති මහින්ද සමග කෝපි කෝප්පයක්‌ හෝ නොබිව් බව සහතිකය. එසේ වී තිබුණා නම් මෙය මහින්දගේ ප්ලෑන් එකක්‌ යෑයි සිතන්නට හෝ පිළිවන. එසේ වී නැත. හින්දු පුවත්පතට සාකච්ඡාව දෙන රනිල් එදා සිටි රනිල්ම ය.

ඒ නිසාම රනිල්, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයටත්, අපේ රටේ සමහර දේශපාලනඥයන්ටත් අමතකව ඇති කාරණයක්‌ද මතක්‌ කර දෙයි. ඒ යුද අපරාධ චෝදනාවන්ට අදාළව පරීක්‍ෂණයක්‌ කිරීමට මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් “2009” වර්ෂයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී ඇති බවය. අගමැති රනිල් වික්‍රමසිංහ මේ ගැන දැඩි විශ්වාසයක සිටින බව පැහැදිලිය. ඔහු එක හෙළාම කියන්නේ එවැනි පරීක්‍ෂණයක්‌ සිදු කරන්නේ නම් එය කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයක්‌ අනුව බවය. එමෙන්ම ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති බැවින් මෙරට කිසිවකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා නොහැකි බව ද අගමැතිවරයා කියා තිබිණි.

(මේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හෝ කෙහෙළිය රඹුක්‌වැල්ල හිටපු ඇමැතිවරයා හෝ කරන ලද ප්‍රකාශ ලෙස වරදවා වටහා නොගන්නා ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.)

කැලම් මැක්‌රේ (ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගැන චිත්‍රපට තැනූ ප්‍රකට අධ්‍ය (යක්‍ෂ වරයා) මේ වන විට එල්.ටී.ටී.ඊ.යේ ඉතිරිව ඇති කාඩරයන් සමඟ එක්‌ව “පෙත්සම්” ලියමින් සිටී. ඒ ජිනීවා හි මානව හිමිකම් සමුළුවටය. “පෙත්සමෙන්” කියෑවෙන්නේ ශ්‍රී ලංකා හමුදාව දහස්‌ සංඛ්‍යාත ද්‍රවිඩයන් ඝාතනය කළ බවය. එවැනි පෙත්සම් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන්නෙත්, ද්‍රවිඩ සන්ධානය ෙµඩරල් ඉල්ලා සිටින්නෙත් එකම කාල රාමුවකය.

එළැඹෙන සැප්තැම්බර් මාසයේ 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ නිර්දේශයන් හා එකී වාර්තාව පසුගිය රජය මගින්ද ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. (මහින්ද රාජපක්‍ෂ යුගයේ).

අගමැති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරයට අභියෝග කරන්නේ මෙවැනි තත්ත්වයක්‌ හමුවේය. රනිල් පිළිබඳ ජාත්‍යන්තරය යම් විශ්වාසයක්‌ තබා ඇති බව මෙරට දේශපාලනය පිළිබඳව හැදෑරීමක්‌ ඇති කවරකු වුවද දන්නා කරුණකි. රනිල්ට එම විශ්වාසය වඩාත් තහවුරු කර ගැනීමට නම්, යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට පහසුවෙන්ම එකඟතාව දැක්‌වීමට ඉඩ තිබිණි. එහෙත් රනිල් නව රජයේ විදේශ ප්‍රතිපත්තිය හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය වඩාත් සාධනීය ලෙස පෙන්වීමට එය අවස්‌ථාවක්‌ කරගෙන තිබිණි.

එපමණක්‌ නොව මෙරට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා දේශපාලන විසඳුමකට එළැඹිය යුතු බවද රනිල් ද හින්දු පුවත්පතට කියා තිබිණි. ජාතික ප්‍රශ්නය පිළිබඳව ද රනිල්ට බොහෝ දෙනකු කියනවාට වඩා වෙනස්‌ ආකාරයේ දැක්‌මක්‌ ඇති බව පැහැදිලිය. එය රට බෙදනා අන්දමේ පිළිවෙත ද නොවන බව අපට සිතිය හැක්‌කේ රට බෙදන ක්‍රියාමාර්ගයකට නොයන බවට ඔහු ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති නිසාය.

Source : Divaina