ළමුන් දෙදෙනකුගේ අතවරයට ලක්‌වී වනාතවිල්ලුවේදී අනාථ වූ දැරිය

0
628

පසුගිය සතියේ වනාතවිල්ලුව වට්‌ටක්‌කණ්‌ඩලී ගම්මානයෙන් වාර්තා වූ සිද්ධිය අපේ රටේ සංස්‌කෘතිය හා හැදියාව පිළිබඳ කැක්‌කුමක්‌ ඇති අයට නම් දරා ගත නොහැකි වේදනාවට කාරණයකි. ඒ කතාවෙන් කියවුණේ වයස අවුරුදු 14 ක ගැහැනු දරුවකු වයස අවුරුදු 16 ක හා 14 ක පිරිමි ළමුන් දෙදෙනකු විසින් සමූහ දූෂණයට ලක්‌කර ඇති බවකි. ඒ පිළිබඳ කතාව අප ඔබට කියන්න හිතුවේ ඒ තුළ අපට උගත යුතු එමෙන්ම දූ දරුවන් හමුවේ වැඩිහිටි අපට පැවරී ඇති වගකීමේ ප්‍රමාණය තක්‌සේරු කර ගැනීමට යම් මඟපෙන්වීමක්‌ ලැබෙන නිසාවෙනි.

දූෂණයට ලක්‌වූ දැරියට අපි නිම්මි යෑයි කියමු. ඇය දූෂණය කළ කොල්ලන් දෙදෙනා අනුර හා ගාමිණී යෑයි අපි කියමු. අනුරගේ වයස අවුරුදු 16 කි. ගාමිණීගේ වයස අවු. 14 කි. මොවුන් දෙදෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේ පාසලේ 7 වැනි පංතිය දක්‌වාය. දැන් ඔවුන් වැඩිහිටියන් යෑයි සිතාගෙන කුලී වැඩ කරමින් කීයක්‌ හෝ මුදලක්‌ උපයන්නට මහන්සි වෙති.

නිම්මි වයස අවුරුදු 14 ක දැරියකි. ඇයද පාසැල් අධ්‍යාපනය අතරමග’ නවතා ඇති අයෙකි. ඇගේ මව මියගොස්‌ ඇත. මව මිය යැමෙන් පසු ඇගේ පියා ද වෙනත් කාන්තාවක්‌ විවාහ කරගෙන ඇත. “අම්මා නැති කල කුඩම්මා කවර කල” කීවක්‌ මෙන් දැරියට අම්මාගේ ආදරය අහිමිවීමෙන් පසු ඇය ජීවිතයේ හුදකලා වූවාය. ඇයට උදව්වට හෝ ඇය රැකබලා ගත්තේ ආච්චිය. ආච්චිද “එක්‌තරා විදිහක” කෙනෙකි. මේ නිසාම ඇය තව තවත් අසරණ වුවත් ඒ ගැන අහන්න හෝ කියන්නට කෙනෙක්‌ සිටියේ නැත.

ආච්චිගේ නිවස ආච්චිටත් දැරියගේ මාමා කෙනකුටත් වෙන් වී තිබිණි. නිම්මි සිටියේ ඒ නිවසේය. පසුගිය 6 දා නිම්මිගේ මාමා කොළඹ ගිය බැවින් නිම්මිත් ආච්චිත් නිවසේ තනි වූවාය. එදින රාත්‍රියේ නිම්මිගේ ලොකු මාමාගේ පුතකු වන අනුර හා ඔහුගේ යහලුවකු වන ගාමිණීත් ආච්චිලාගේ ගෙදර නිදා ගන්නට ආවේය.

නිවස විශාල නිවසක්‌ නොවුණ මුත් කාමර 3 කින් යුක්‌ත විය. එදින රාත්‍රියේ අනුරට හා ගාමිණීට එක්‌ කාමරයක්‌ දී නිම්මි එක්‌ කාමරයකත් ආච්චි එක්‌ කාමරයකත් නිදා ගත්තාය. නිම්මිත් අනුර හා ගාමිණීත් නිදාගත් කාමර දෙක යාබද කාමර විය. ඒ කාමර දෙක වෙන් කර ඇති බිත්තියේ සවිකර තිබූ ජනේලයෙන් කාට වුවද ඒ කාමරයෙන් මේ කාමරයටත් මේ කාමරයෙන් ඒ කාමරයටත් යා හැකි විය.

එදින රෑ මැදියම පසුවී හෝරාවක්‌ ගතවන්නට ආසන්නව තිබියදී තමන් නිදා සිටින පැදුරේ තමන් අසල කිසිවකු දඟලන බවක්‌ දැනුණත් දිවා කාලයේ ගේ දොර වැඩට මහන්සි වන නිම්මිට ඒ ගැන සොයනවාට වඩා නිදා ගැනීම සැනසීමක්‌ වූවා විය හැකිය. ඒත් ඇයට නිදාගන්නට ඉඩක්‌ නොවීය. තමන් අසල පැදුරේ දඟලමින් සිටි අය ඇය තරයේ වැළඳ ගත්තේය. ඒ වෙන කවරකුත් නොව තමන්ගේ ලොකු මාමාගේ පුතා වන වයස අවුරුදු 16 ක අනුර අයියා බව අඳුනා ගැනීමට නිම්මිට වැඩි වේලාවක්‌ ගියේ නැත. ඇය ද ආගන්තුක මිහිරියාවක්‌ හමුවේ නිහඬ වූවා විය හැකිය. අනුර සිය කාරිය නිම කරන විට ජනේලයෙන් පැන තමන් අසලට වී සිටි ගාමිණී වූ 14 හැවිරිදි යහලුවාටද නිම්මිව දූෂණය කරන්නට අවස්‌ථාව දුන්නේය. එදින රැය පහන් වන විට නිම්මි අනුර හා ගාමිණී අතින් කීප වරක්‌ දූෂණයට ලක්‌ වී තිබුණ ද ආච්චි අම්මා ඒ කිසිත් දන්නේ නැත. නිම්මි ඒ ගැන ආච්චිට කියන්නට ගියේ ද නැත.

නිම්මි උදේ 8.00 ට පමණ අවදිව මිදුලේ ගලක්‌ උඩට වී සිටි ආකාරය අසල නිවසේ නිම්මිගේ මාමා කෙනකු දැක “ඇයි දුව ඔතන මොකක්‌හරි අසනීපයක්‌ද?” ඇසුවේය.

නුහුරු නුපුරුදු අත්දැකීම ගැන නිම්මි අසල නිවසේ මාමාට කීවාය. ඒ අනුව ආච්චිටද විස්‌තර දන්වා ඔවුන් නිම්මි සමග වනාතවිල්ලුව පොලිසියට ගියේය. වනාතවිල්ලුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විමල් වතුලියෑද්ද නිම්මිගෙන් සිදුවූ දේ සියල්ල අනාවරණය කර ගත්තේය.

ගැටවරයෝ දෙදෙනා (අනුර හා ගාමිණී) අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ද සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිකර ගත හැකි විය. පොලිසියේදී මේ දැරිය හා ගැටවරයන් සඳහන් කළ දේ අනුව ඔවුන්ගේ ක්‍රියාවේ බරපතළකම හෝ එහි අනිටු විපාක පිළිබඳ ඔවුනට කිසිදු අවබෝධයක්‌ තිබූ බවක්‌ නොපෙනුණි. ඊට හොඳම උදාහරණය පොලිස්‌ ස්‌ථානාධිපති ගැටවරයන්ගෙන් විමසූ කාරණයකි.

පොලිස්‌ ස්‌ථානාධිපති – අනුර (වයස 16 ගැටවරයා) උඹ කැමතිද මේ නිම්මිව කසාද බඳින්න?

අනුර කිසිවක්‌ නොකියා ඇඹරෙමින් තම යහළුවා දෙස බලයි.

පොලිස්‌ ස්‌ථානාධිපති -ගාමිණී කැමතිද නිම්මි බඳින්න?

ගාමිණී – ඇඹරෙමින් මෙයා කැමති නම් මමත් කැමතියි. කීවේ තම යහළුවා අනුර දෙස බලමිනි.

මොවුන් කළ කී දේවල් පිළිබඳ ඔවුන්ට තිබුණේ එවන් අවබෝධයකි. දෙමාපියන් දැස්‌ විවර කර බලන්න මේ දරුවන් අනවබෝධයෙන් මේ තරම් බරපතළ ක්‍රියාවකට යොමු වුණේ කෙසේද?

ජයසූරිය උඩුකුඹුර
Source : Divaina