යහපාලනයේ දෙවැනි ඉනිම සහ රනිල්

0
668

ජනවාරි 08 වැනිදා ගත් තීන්දුව ජනතාව යළිත් වරක්‌ තහවුරු කර තිබේ. පත්වීමට නියමිතව ඇත්තේ අලුත් ආණ්‌ඩුවකි. අලුත් ආණ්‌ඩුවේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් ජය අත්පත් කරගත්තේ වාර්තාගත මනාප සංඛ්‍යාවකිනි. එය එතෙක්‌ මෙතෙක්‌ අපේක්‍ෂකයකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවයි. හරියටම කිව්වොත් මෙවර මහින්ද රාජපක්‍ෂ ලබාගත් 4,23,529 (හාරලක්‍ෂ විසිතුන්දහස්‌ පන්සිය විසිනවයත්) ත්, 1994 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග ලබාගත් 4,64,588 (හාරලක්‍ෂ හැටහතර දහස්‌ පන්සිය අසූ අටත්) ත් ඉක්‌මවමින් රනිල් වික්‍රමසිංහ ලක්‍ෂ පහක්‌ ඉක්‌මවන ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ මේ මනාප ප්‍රමාණය අතිශය සුවිශේෂය. රනිල් ට කිසිවෙක්‌ “මනාප” නැතැයි විපක්‍ෂයෙන් පමණක්‌ නොව පක්‍ෂයෙන්ද ගැරහුම්, අපහාස විවේචන එල්ලවන මොහොතක රනිල් ඉතා ඉවසීමෙන් හා උපේක්‍ෂා සහගතව කටයුතු කළේ බලයට පැමිණීමට කෙටි පාරවල් නැතැයි යන්න වඩාත් තහවුරු කරමිනි. විවේචන එල්ල කළ කිසිවෙකුත් සමඟ රනිල් ගේ “අමනාපයක්‌” තිබුණේ නැත. රනිල්ගේ “මනාප” ලක්‍ෂ පහේ රහස එයයි.

රනිල් විශ්වවිද්‍යාලයෙන් පිටව නීති පීඨයට පිවිස 1974 දී දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේය. එහෙත් ඔහුගේ දේශපාලන පරම්පරාව ඊටත් ඈත අතීතයක සිට පැවත එන්නකි. මේ රටේ කැබිනට්‌ ඇමැති ධුරයක්‌ හෙබවූ ලාබාලතම දේශපාලකයා වන්නේද රනිල් වික්‍රමසිංහය. 1993 මැයි 07 වැනිදා රනිල් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේය. අනතුරුව යළිත් 2001 වර්ෂයේද අග්‍රාමාත්‍ය ධුරයට පත්වන රනිල් වික්‍රමසිංහ යළිත් වසර 14 කට පසු 2015 ජනවාරි 08 වැනිදා ‘යහපාලන ආණ්‌ඩුවේ’ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේය. ඒ අනුව මැතිවරණයෙන් පසු නව රජයේ අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වන්නේ හතරවැනි වතාවටය. එයද වාර්තාවකි.

රනිල්ගේ දේශපාලන ජීවිතය කිසිවිටෙකත් සරල සහ පහසුව ගලාගිය එකක්‌ වූයේ නැත. එහෙත් ඒ සියල්ලටම ඔහු මුහුණ දුන්නේ සැහැල්ලුවෙනි. ඉක්‌මන් තීරණවලට නොඑළඹ, ගැටලු හමුවේ සන්සුන්ව කටයුතු කළ දේශපාලනඥයෙකි.

පරිණත දේශපාලකයකු සතුවූ ගුණාංග මේ මේ යෑයි රනිල් පෙන්වා දුන්නේ ක්‍රියාවෙනි.

අලුත් ආණ්‌ඩුවේ අගමැතිවරයා වන්නේ එහෙව් රනිල්ය. රනිල් අගමැතිවරයා ලෙස නොව මහමැතිවරණයෙන් පසු ජයග්‍රාහකයකු ලෙස කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. “ජයග්‍රාහකයින් – පරාජිතයින් ලෙස නොබෙදී අලුත් රටක්‌ නිර්මාණය කරන්න එක්‌වෙමු”. ඒ ප්‍රකාශය මේ මොහොතේ රටේ ඉදිරි ගමනට වැදගත්ම ප්‍රකාශයක්‌ ලෙස සැළකිය හැකිය.

ජනාධිපතිවරණයකත්, මහ මැතිවරණයකත් උණුසුමින් පසු රටේ වඩාත්ම වෙහෙසට පත්ව සිටින පිරිස වන්නේ දේශපාලනඥයින් නොව රටේ ජනතාවය. රට යන අත පිළිබඳව ජනතාව තුළ තිබුණේ අවිනිශ්චිත හැඟීමකි.

රනිල් සිය ප්‍රකාශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒ වෙහෙසට පත් පීඩාවට පත් ජනතාවටය. රටේ ජනතාවට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ බවට විවාදයක්‌ නැත. රනිල් සහ නව රජයේ කැබිනට්‌ මණ්‌ඩලය හමුවේ ඇත්තේ මේ අභියෝගයයි. “යහපාලන” සංකල්පය ගැන ජනතාව බොහෝ දුරට විශ්වාසය තබා තිබේ. රනිල්ගේ ආණ්‌ඩුව වැඩි බරක්‌ මේ සංකල්පය ඉදිරියට ගෙන යැම සඳහා යෙදිය යුතුය. වැනෙන සුළු ආණ්‌ඩුවකින් ඒ ජනතා අපේක්‍ෂාවන් බිඳවැටීම වැළැක්‌විය නොහැකිය.

පසුගිය කාලයේ දින සියයේ ආණ්‌ඩුවේ දී බොහෝ දේ ක්‍රියාත්මක කරන්නට සිටියත් ඒවා ඇනහිටියේ ආණ්‌ඩුව ස්‌ථාවරත්වයක නොතිබූ නිසාය.

“අපි එකට එක්‌ව ශීලාචාර සමාජයක්‌ බිහි කරමු. සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌ ගොඩනගමු” යෑයි රනිල් කියන්නේ ඒ ස්‌ථාවර භාවය රැකගැනීම සඳහා වන උනන්දුවෙන් බව අපි විශ්වාස කරමු.

විධායක ජනාධිපති ක්‍රමය අවසන් වන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීම, රටට ගැලපෙන නව මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වාදීම (20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම) විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම මේ රටේ සිවිල් සමාජය ඉහළින්ම අපේක්‍ෂා කළ දේවල්ය. රනිල් හමුවේ මෙවැනි අභියෝග රාශියක්‌ ද වේ. දේශපාලනයේ අතිශය පරිණත නායකයෙක්‌ ලෙස රනිල්ට මේ අභියෝග ජයගැනීමට අසීරුතාවක්‌ ඇතැයි අපි නොසිතමු.

දැන් ඇත්තේ යහපාලනයේ දෙවැනි ඉනිම ට එළැඹීමයි. රනිල්ට වාර්තාවක්‌ තබමින් දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට වරම ලබාදුන්නේ ජනතාවයි. දැන් ඇත්තේ ජනතා අපේක්‍ෂාව වෙනුවෙන් පරිස්‌සමින් ඉනිම ක්‍රීඩා කිරීමයි.
Source : Divaina