මැතිවරණ සටන්බිමේ ගෙවුණු 68 වසරක්‌!

0
739

එදා මෙදාතුර ඡන්දය කෙරුණේ මෙහමයි

බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ රාජාණ්‌ඩු ක්‍රමයයි.

සොල්බරි ප්‍රතිසංස්‌කරණ මගින් 1947 ජුලි 7 වැනි දින මෙතෙක්‌ පැවැති රාජ්‍ය සභා ක්‍රමය අහෝසි කරනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 පවත්වනු ලැබීය.

1946 ඩී. එස්‌. සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂය, 1935 දී ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් ආරම්භ කරනු ලැබූ ලංකා සමසමාජ පක්‍ෂය, 1947 දී කොල්වින් ආර්. ද සිල්වා මහතා විසින් ආරම්භකරනු ලැබූ ‘බොල්ෂෙවික්‌’ ලෙනින් පක්‍ෂය, 1943 දී එස්‌. ඒ. වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ‘කොමියුනිස්‌ට්‌ පක්‍ෂය” 1928 දී ඒ. ඊ. ගුණසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ කම්කරු පක්‍ෂය, 1944 දී ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් ආරම්භ කරනු ලැබූ “සමස්‌ත ලංකා දෙමළ කොංග්‍රසය” 1939 දී එම්. සුභාස්‌ විසින් ආරම්භ කරනු ලැබූ ඉන්දියානු කොංග්‍රසය 1947 දී කේ. වී. ඩල්පධාතු මහතා විසින් ආරම්භ කරනු ලැබූ “එක්‌සත් ලංකා” හා 1947 ඡේම්ස්‌ පී. µර්නැන්ඩු මහතා විසින් ආරම්භ කරනු ලැබූ ලංකා ‘ස්‌වරාඡ් පක්‍ෂය’ යන පක්‍ෂ මෙම මැතිවරණයේදී තරග කරනු ලැබීය.

මෙම පක්‍ෂ අතරින් එක්‌සත් ජාතික පක්‍ෂයට සිංහල බහුතරය අයත් පක්‍ෂ හා සංවිධාන මෙන්ම සුළුතරය නියෝජනය කරනු ලබන පක්‍ෂ සංවිධානයන්ගේ සහයෝගය ලැබුණි. එම පක්‍ෂය අතර ලංකා සමසමාජ පක්‍ෂය, සිංහල මහ සභාව, ලංකා මුස්‌ලිම් ලීග් යන පක්‍ෂ මීට ඇතුළත්විය. 1947 ඡන්දයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමිවිය. ආසන 95 කට තරගකර ඉන් ආසන 42 ක්‌ දිනාගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂයට හැකිවිය. ඒ අනුව ඡන්ද 751432 එක්‌සත් ජාතික පක්‍ෂයට හිමිවිය. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයා වූ ඩී. එස්‌. සේනානායක මහතා නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා විය.

ඩී. එස්‌. සේනානායක මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු 1952 ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාට අගමැති තනතුර හිමිවිය. එතුමා බලයට පැමිණ දින 17 කින් පසුව නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූහ. 1952 අප්‍රේල් 8 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවන ලදී.

මේ අනුව දෙවැනි පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය 1952 මැයි මස 24, 25, 26 සහ 30 යන දිනයන්හි පවත්වා තිබේ. 1951 දී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් වෙන්වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා ගනු ලැබීය. 1952 පැවැති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජයගනු ලැබීය. සහල් මිල ඉහළයැම හේතුකොට ගෙන ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ මහා හර්තාල් ව්‍යාපාරයක්‌ ආරම්භ විය. මේ හේතුකොටගෙන ඩඩ්ලි සේනානායක මහතා තම අගමැති තනතුරින් ඉල්ලා අස්‌විය. එලෙස හිස්‌වූ අගමැති තනතුර සඳහා සර් ජෝන් කොතලාවල මහතා පත්විය. 1956 යේ පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තුව ද විසුරුවා හරිනු ලැබූහ.

ශ්‍රී ලංකාවේ 3 වැනි පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 5, 7 සහ 10 යන දිනයන්හි පවත්වනු ලැබූහ. 1956 ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන රජය මැතිවරණයෙන් ජයගනු ලැබීය. ආසන 51 ක්‌ ඔවුන් හිමිකරගනු ලැබුවේය. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා අගමැතිවරයා බවට පත්විය. බණ්‌ඩාරනායක මහතාගේ මරණින් පසු අගමැති තනතුර හිමිවූයේ ඩබ්ලිව්. දහනායක මහතාටය. දහනායක මහතා විසින් 1959 දෙසැම්බර් මස 5 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

1960 මාර්තු 19 වැනි දින පැවැත්වූ මැතිවරණය විශේෂ වූයේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ එක්‌ දිනක්‌ තුළ පැවැති පළමු මැතිවරණය වීම නිසායි. එසේම මෙම මැතිවරණයේදී මැතිවරණ කොට්‌ඨාස සංඛ්‍යාව 89 සිට 145 දක්‌වා වැඩිකර තිබේ. මෙම මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනු ලැබීය. නැවත වරක්‌ ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා බවට පත්විය.

1959 දෙසැම්බර් මස 5 වැනි දින පාර්ලිමේන්තුව විසු1960 අප්‍රේල් 23 වැනි දින නැවත පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. ඒ අනුව පස්‌වැනි (5) පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් පත්කිරීම 1960 ජුලි 20 දා සිදුවිය. මෙම මැතිවරණයේදී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය බලයට පැමිණීම විශේෂ සිදුවීමකි.

1964 දෙසැම්බර් 17 වැනි දින සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විසින් 5 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. 60 වැනි පාර්ලිමේන්තු මැතිවරණය 1965 මාර්තු 22 වැනි දින පවත්වනු ලැබීය. මෙම මැතිවරණයට අපේක්‍ෂකයෝ 393 ක්‌ ඉදිරිපත් විය. දේශපාලන පක්‍ෂ 7 ක්‌ සන්ධානගතව මැතිවරණයට පිවිසි එක්‌සත් ජාතික පක්‍ෂය මෙම මැතිවරණයෙන් ආසන 66 ක්‌ දිනා ගනිමින් බලයට පත්විය. ඩඩ්ලි සේනානායක මහතා නැවත බලයට පැමිණි අතර පළමු පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 5 වැනිදා පැවැත්වීය. හයවැනි පාර්ලිමේන්තුව 1970 මාර්තු 25 වැනි දින ඩඩ්ලි සේනානායක මහතා විසුරුවා හරිනු ලැබීය. 7 වැනි පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාර ගැනීම 1970 වේ අප්‍රේල් 23 දක්‌වා සිදුවිය. මැතිවරණ පවත්වනු ලැබුවේ 1970 මැයි මස 27 වැනි දිනය. ආසන 70 වැනි විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය බලයට පත්විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නැවත අග්‍රාමාත්‍යවරිය විය. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 1970 ජුනි 7 වැනි දින පැවැත්විය. මැතිවරණයෙන් එක්‌සත් පෙරමුණ රජයට ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමිවිය. මෙතෙක්‌ කල් “සිලොන්” නමින් හැඳින්වූ නාමය වෙනස්‌කර “ශ්‍රී ලංකා” ලෙස හැඳින්වීමට මෙම රජය පියවර ගනු ලැබීය. 1972 මැයි 22 වැනි දින ජනරජ ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ගෙනඑනු ලැබීය. ඒ අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සියලු කටයුතු සිදුවිය. බ්‍රිතාන්‍ය මහරැජිනගේ නියෝජිත වශයෙන් සිටි ආණ්‌ඩුකාර තනතුර වෙනස්‌කර ඒ වෙනුවට නාමික ජනාධිපති තනතුරක්‌ ඇතිකරනු ලැබීය. එලෙස පත්කරගනු ලැබූ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ විලියම් ගොපල්ලව මහතායි. පාර්ලිමේන්තු ‘ජාතික රාජ්‍ය සභාව’ බවට පත්විය.

7 වැනි පාර්ලිමේන්තුව 1977 මැයි 18 වැනි දින විසුරුවා හරිනු ලැබූ අතර අටවැනි පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාර ගැනීම 1977 ජුනි 6 වැනි දින සිදුවිය. පාර්ලිමේන්තු මැතිවරණය 1977 ජුනි 21 වැනි දින සිදුවිය. පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 160 ක්‌ විය. මෙම මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබමින් 160 න් 140 ක්‌ම ජයගනු ලැබීය. ජූනියස්‌ රිචඩ් ජයවර්ධන මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ජාතික රාජ්‍ය සභාවේ මංගල සැසිවාරය 1977 අගෝස්‌තු 4 වැනිදා පැවැත්විය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් පෙරමුණ දරුණු පරාජයකට පත්කරමින් ඔවුන්ට විරුද්ධ පක්‍ෂයෙන්ද ඉවත්වීමට සිදුවිය. ආසන 8 දක්‌වා පහත වැටිණි. එක්‌සත් ජාතික පක්‍ෂයට ජාතික රාජ්‍ය සභාවේ 5/6 බහුතරය හිමිවිය. ඒ අමිර්තලිංගම් මහතා විරුද්ධ පක්‍ෂ නායකයා බවට පත්විය.

බහුතර බලය උපයෝගී කරගනිමින් ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ 5/6 ක ඡන්දයෙන් සම්මත කරගනු ලැබීය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ප්‍රථමවරට විධායක ජනාධිපති ධුරයක්‌ ඇතිකරනු ලැබීය.

1978 පෙබරවාරි 4 වැනි දින ජූනියස්‌ රිචඩ් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්හ. 1978 පෙබරවාරි 6 වැනි දින හිස්‌වූ අගමැති තනතුරට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය. පළමු විධායක ජනාධිපතිධුරය සඳහා නාමයෝජනා භාර ගැනීම 1982 සැප්තැම්බර් 16 වැනිදින සිදුවිය. ප්‍රථම ජනාධිපතිවරයා සඳහා ඡන්දය පවත්වනු ලැබුවේ 1982 ඔක්‌තෝබර් 20 වැනි දිනය.

1982 දෙසැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ගමන් මගට මහත් අඳුරුතම දිනයක්‌ උදාවිය. ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසූ දිනයක්‌ ලෙස හැඳින්විය හැක. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් මැතිවරණ කොමසාරිස්‌වරයාට පාර්ලිමේන්තු ඡන්ද නොපවත්වන ලෙසට නියෝගයක්‌ කරනු ලැබූහ.

ඒ වෙනුවට ජනමත විචාරණයන් පවත්වන ලෙස ජයවර්ධන මහතා 1982 නොවැම්බර් 14 දින ප්‍රකාශ කරනු ලැබුවේය. 1982 දෙසැම්බර් 22 වැනි දින පැවැති මෙම ජනමත විචාරණය පසු කලෙක ලාම්පු කළගෙඩි සෙල්ලම නමින් ප්‍රසිද්ධ වූ අතර ඉතිහාසයේ මහත් මතභේදයට තුඩුදුන් මැතිවරණයක්‌ විය.

පාර්ලිමේන්තු කාලය දික්‌කර ගැනීමට කැමති අය ලාම්පුව ලකුණට ඡන්දය දියයුතුය. ඊට අකමැති පක්‍ෂය කළගෙඩියට ඡන්දය දිය යුතුය. ලාම්පුව ඉදිරියේ ඡන්ද 31,41,223 ක්‌ද කළගෙඩිය ඉදිරියේ ඡන්ද 26,05,983 ක්‌ ලැබුණි. ඒ අනුව ජයවර්ධන මහතාට පාර්ලිමේන්තුව 1989 යේ අගෝස්‌තු 4 වැනි දා වූ තවත් අවු. 6 ක කාලය දීර්ඝ කරගැනීමට අවස්‌ථාව උදාවිය. නවවැනි පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම 1989 පෙබරවාරි 15 වැනි දින සිදුවිය. මෙම මැතිවරණය මගින් වසර 58 පුරා පැවැති ඡන්ද ක්‍රමය වෙනසකට භාජන විය. ආසන මට්‌ටමින් තනි පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවට (කේවල ඡන්ද ක්‍රමය) සමානුපාතික ඡන්ද ක්‍රමය බිහිවිය. ජර්මනිය මෙම මැතිවරණ ක්‍රමය භාවිතකරනු ලැබේ. මෙම ක්‍රමයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ක්‌ විය. ඉන් 196 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා පත්කරනු ලැබේ. ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්‌තුවෙන් තෝරාගනු ලැබේ.

1989 පෙබරවාරි 15 වැනි දින පැවැති ඡන්දය වර්ජනය කරන මෙන් ජනතා විමුක්‌ති පෙරමුණ නියෝග කොට තිබිණි. මේ වනවිට රටේ දේශපාලන වාතාවරණය ඉතා අවදානම් තත්ත්වයක පැවැතියහ. දකුණේ ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණය මේ සමයේ උග්‍රව පැවතිණි. එසේම උතුරේ ත්‍රස්‌තවාදී ක්‍රියාද මෙම වකවානුවේ ඉතා දරුණුව පැවැතිණි. 1989 යේ ඡන්දය දුන් සංඛ්‍යාව 59,62031 කි. (63.60%) ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 365,563 ප්‍රතික්‍ෂේප ඡන්ද විය. මෙම මැතිවරණයේ කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ ප්‍රතික්‍ෂේප ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක්‌ ගැනීමය. එක්‌සත් ජාතික පක්‍ෂය ඡන්ද 2838005 ලබා ගනිමින් ආසන 110 ජයගනු ලැබීය. එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්විට 50.71% එකකි. ඒ අනුව 1989 ඡන්දයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනු ලැබීය. 1989 ඡන්දයෙන් පසු ප්‍රධාන දේශපාලන පක්‍ෂ 2 කේ ප්‍රසිද්ධ දේශපාලන චරිත පිල් මාරුවකට මුල පුරනු ලැබූහ. එක්‌සත් ජාතික පක්‍ෂයේ දීර්ඝකාලීන මුදල් ඇමැති පදවිය හෙබවූ රොනී ද මෙල් මහතා තම පක්‍ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එක්‌විය. මහවැලි සංවර්ධන ඇමැතිවරයා වූ ගාමිණී දිසානායක මහතා සහ හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති වූ ලලිත් ඇතුලත්මුදලි මහතා සමඟ තවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයන් වූ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, නෙවිල් ප්‍රනාන්දු, ප්‍රේමරත්න ගුණසේකර, ජිනදාස නියතපාල යන අය පක්‍ෂයෙන් ඉවත්විය.

කෙසේ වුවත් 1994 පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාරදීමට මාස 20 කට කලින් මෙම සියලු දෙනා නැවත එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌විය. එසේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයකු වූ හලීම් ඉෂාක්‌ මහතාද එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌විය.

ඡන්ද කොමසාරිස්‌තුමා විසින් 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නාම යෝජනා භාරගන්නා අවසාන දිනය ලෙස 1994 ජුලි 11 වැනි දින ප්‍රකාශයට පත්කළහ. පාර්ලිමේන්තු ඡන්දය පවත්වනු ලැබුවේ 1994 අගෝස්‌තු 16 වැනි දිනයි. මෙම මැතිවරණයේදී ඡන්ද දායකයෝ 10,954,241 දෙනකුට ඡන්ද වරම් හිමිවිය. ඡන්ද මධ්‍යස්‌ථාන 9533 ඒ සඳහා යොදාගනු ලැබීය. මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්‍ෂ 13 හා ස්‌වාධීන කණ්‌ඩායම් 4 ක්‌ තරග වැදුණහ.

1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලයට පත්විය. මෙම මැතිවරණයේදී සන්ධානය ආසන 105 ලබාගත් අතර ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 48.94% ක්‌ විය. එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 94 ක්‌ ලබාගත් අතර එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 44.04% ක්‌ විය.

මෙම වකවානුවේ ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක්‌ විය. ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසින් ජනවාර්ගික අර්බුදයට විසඳුමක්‌ ලෙස 1995 ජනවාරි 6 වැනි දින බලය විමධ්‍යගත කිරීමේ පැකේජයක්‌ ගෙන එනු ලැබීමයි.

දසවැනි පාර්ලිමේන්තුව ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසින් වර්ෂ 2000 ක්‌ වූ අගෝස්‌තු මස 18 වැනි දින විසුරුවා හරිනු ලැබූහ. නාමයෝජනා භාරගැනීම අගෝස්‌තු මස 28 සිට සැප්තැම්බර් 4 දක්‌වා සිදුවිය. 11 වැනි පාර්ලිමේන්තුව සඳහා ඡන්දය පවත්වනු ලැබුවේ 2000 ඔක්‌තෝබර් මස 10 වැනි දිනයි.

මෙම ඡන්දය දින සිදුවූ විශේෂ සිදුවීම වූයේ ලොව ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නිට්‌ටඹුව සංඝබෝධි විහාරයේ පැවැති ඡන්ද මධ්‍යස්‌ථානයේ ඡන්දය දමා නැවත කොළඹ එන අතුරතුරේදී හදිසි හෘදයාබාධයකින් දැයෙන් සමුගැනීමයි. මියයනවිට එතුමියගේ වයස අවු. 84 ක්‌ විය.

2000 වසරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූයේ 120,73,263 කි. ඉන් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූයේ 912,8823 කි. ඡන්ද 3900901 ලැබූ පොදු ජන එක්‌සත් පෙරමුණ මැතිවරණය ජයගත්හ. එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 45.10% කි. එක්‌සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද 34,77,770 කි. එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 40.21 කි. 11 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2000 යේ ඔක්‌තෝබර් 18 වැනි දින පැවැත්විය. 12 වැනි පාර්ලිමේන්තු සඳහා නාම යෝජනා භාර ගැනීම 2001 ඔක්‌තෝබර් මස 20 සිට 27 පැවැති අතර මැතිවරණය දෙසැම්බර් 5 වැනි දින පැවැත්විය. ආසන 96 ලබාගත් එක්‌සත් ජාතික පක්‍ෂය 45.68% ලබාගනිමින් නව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය. පොදු ජන එක්‌සත් පෙරමුණට ලබාගත හැකිවූයේ ආසන 66 කි. (37.19%) ජනතා විමුක්‌ති පෙරමුණ ආසන 13 ලබාගත් අතර (9.10%) ඔවුන් තුන්වන ස්‌ථානය හිමිවිය.

2001 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂේත්‍රයේ දක්‌නට ලැබුණු විශේෂ ලක්‍ෂණය වූයේ විධායක බලය එක්‌ පක්‍ෂයකටත්, ව්‍යවස්‌ථාදායක බලය තවත් පක්‍ෂයකටත් හිමිවීමයි. මේ නිසා විධායකය හා ව්‍යවස්‌ථාදායකය අතර මතභේද ඇතිවිය. 13 වැනි පාර්ලිමේන්තුව තෝරාපත්කර ගැනීම සඳහා මැතිවරණය 2004 අප්‍රේල් මස දෙවැනිදා පවත්වනු ලැබීය. දේශපාලන පක්‍ෂ 24 ක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම් 192 ක්‌ මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් විය. මෙම මැතිවරණය සඳහා අපේක්‍ෂකයෝ 5698 ක්‌ තරග කරනු ලැබුවේ මන්ත්‍රී අසුන් 196 ක්‌ සඳහාය. ජාතික ලැයිස්‌තුව සඳහා මන්ත්‍රීවරු 29 ක්‌ ද විය.

2004 රේ මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. එහිදී සන්ධානයෙන් මන්ත්‍රීවරු 92 ක්‌ පත්වූ අතර ජාතික ලැයිස්‌තුවෙන් 13 ක්‌ හිමිවිය. එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 71 ක්‌ ලබාගත් අතර ජාතික ලැයිස්‌තුවෙන් ආසන 11 ක්‌ හිමිවිය. 2004 රේ එක්‌සත් ජනතා සන්ධානයේ සහාය පක්‍ෂයක්‌ වූ ජනතා විමුක්‌ති පෙරමුණට අමාත්‍ය පදවි 4 ක්‌ හා නියෝජ්‍ය අමාත්‍ය පදවි 4 ක්‌ හිමිවිය.

2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 2010 පෙබරවාරි මස 19 දා සිට 26 දක්‌වා සිදුවිය. මැතිවරණ පැවැත්වූයේ 2010 අප්‍රේල් මස අටවැනි දිනයි. මෙම මැතිවරණයේදී නාවලපිටිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්‌ථාන 38 ක ඡන්ද ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ශූන්‍ය කරනු ලැබීය. නැවත එම ප්‍රදේශවල ඡන්ද 2010 අප්‍රේල් මස දිනක පැවැත්වීය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ආසන 127 දිනාගත් අතර ජාතික ලැයිස්‌තුවේ මන්ත්‍රීන් 17 දෙනා සමඟ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 144 කි. එක්‌සත් ජාතික පෙරමුණ මන්ත්‍රීන් 51 සමඟ ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීන් 09 ඇතුළුව මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 60 ක්‌ විය. මේ අනුව 2010 මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලයට පත්විය.

7 වැනි පාර්ලිමේන්තුව (1978 ව්‍යවස්‌ථාවට අනුව) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 ජුලි මස 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින ලදී. අටවැනි පාර්ලිමේන්තුව සඳහා ජුලි මස 6 වැනිදා සිට ජුලි මස 13 වැනිදා දක්‌වා නාම යෝජනා භාරගනු ලැබූහ. මැතිවරණය 2015 අගෝස්‌තු මාසයේ 17 වැනි පැවැත්වීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්‍ෂ 21 හා ස්‌වාධීන කණ්‌ඩායම් 201 තරගවදිනු ලැබේ. ඒ අනුව අපේක්‍ෂකයෝ 6151 තරග බිමට පිවිස ඇත. මේ සියලු දෙනා තරග කරන්නේ මන්ත්‍රීධුර 196 ක්‌ වෙනුවෙනි. මැතිවරණ නිරීක්‍ෂකයන්ට අනුව 2015 මහ මැතිවරණය බොහෝ දුරට කිසිදු පක්‍ෂයකට බහුතර බලයක්‌ හිමිකර ගැනීමට නොහැකිවනු ඇත. බොහෝ දුරට සභාග රජයකට මුල පිරීමට ඉඩ තිබේ.

මෙවර මැතිවරණයේ දක්‌නට ලැබෙන විශේෂත්වය වනුයේ හිටපු ජනපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා මන්ත්‍රීධුර අපේක්‍ෂකයකු ලෙස කුරුණෑගලින් තරග බිමට පැමිණීමයි. හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකයා වූ ඔහුට තම පක්‍ෂයෙන් මන්ත්‍රීධුර අපේක්‍ෂකත්වය ලබාගැනීම වෙනුවෙන්ද ප්‍රබල සටනක්‌ දීමට සිදුවිය.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම්වරයකු වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට විරුද්ධව නැගී සිටීම දෛවයේ සරදමක්‌ බඳුය.

නිහාල් අබේරත්න
Source : Divaina