වහාම 119 ට කතා කරන්න

0
638

පසුගිය දිනෙක මහවැලි ගඟ ආශ්‍රිත ගමක ලොකු කලබැගෑනියක්‌ සිදුවිය. සිද්ධිය මෙසේ ය.

සරසවි සිසුන් තිදෙනෙක්‌ සහ සිසුවියක්‌ මෝටර් සයිකල්වල නැගී කළුගමුව ගමෙහි මහවැලි ගඟ අසබඩ තොටුපළකට පැමිණියහ. ඔවුන් පැමිණියේ නාන්නටය. ඉඳහිට ගඟක මුහුදකට බැස නෑම ජනයාගේ විනෝදාස්‌වාදයකි. සිව්දෙනා ගඟට බැස නාන අතරේ සිසුහු අරක්‌කු බෝතලයක්‌ ද කඩාගෙන බිව්හ. ගඟේ මුහුදේ නාන අතරේ මත්පැන් බීම ද මෙරට පිරිමින් කරන සාමාන්‍ය කටයුත්තකි.

ගම්වැසියන්ට මේ දර්ශනය ඇල්ලුවේ නැත. ඔවුහු 119 කරකවා පොලිසියට කතා කළහ. පොලිසිය පැමිණ සිසුවිය හා සිසුන් තිදෙනා කුදලාගෙන පොලිසියට ගෙන ගියහ.

එහෙත් නඩු පැවරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට නොහැකි විය. ලංකාවේ නීතිය අනුව මත්පැන් බීම වරදක්‌ නොවේ. ගඟෙහි නෑම කිසිදු අයුරකින් වත් වරදක්‌ නොවේ. ගම්මුන්ගේ චෝදනාව වූයේ සිසුන් සිසුවිය නිරුවත් කොට පිංතූර ගත් බවය. එහෙත් ඒ බව ඔප්පු කිරීමට කිසිදුÊසාක්‍ෂියක්‌ ගම්මුන් ළඟ නොවීය. කිසිදු වරදක්‌ ඔප්පු කළ නොහැකි හෙයින් පොලිසියට සිදුවූයේ සිසුන් සිවුදෙනා මුදා හැරීමටය.

නමුත් ඒ වන විට පුවත්පත් හා අන්තර්ජාල ප්‍රවෘත්ති ඔස්‌සේ මේ සිද්ධියට විශාල ප්‍රචාරයක්‌ ලබා දී තිබිණි. දිය නෑ සිසුවියගේ පිංතූර ද පළ කොට තිබිණි. ඇය ලැම මත්තට දියරෙද්දක්‌ හැඳ සිටියා මිස සිටියේ අඩ නිරුවතින්වත් නොවේ.

මෙතැන සිදු වූයේ තම ගමෙහි තොටුපලට පිටස්‌තර කිහිපදෙනකු ඇතුළුව නෑම නොරිස්‌සීම විය හැක. අනිත් අතට නෑවේ තරුණ පිරිසකි. ගම්මුන්ට එය ද නොරිස්‌සුවා විය හැක. නීතියේ හැටියට මත්පැන් පානය කිරීම වරදක්‌ නොවන බව ගම්මු නො දැන සිටියා විය හැක. සියල්ලටම වඩා ගම්මු සිතුවේ සිය නිර්මල ගැමි සංස්‌කෘතිය කෙලෙසුනා දැයි යන්න විය හැක.

ගම්මුන් සිටින්නේ මේ මතයේ නම් ඔවුන් මේ රටේ සංචාරකයන් ගැවසෙන මුහුදු වෙරළකට ගියහොත් ඔවුන්ගේ ටෙලිෆෝන් පණිවුඩවලින් 119 අංකය පිරී ඉතිරී යනු ඇත. පොලිසියට අස්‌වැසිල්ලක්‌ නැති වනු ඇත. මක්‌නිසාද සංචාරක මුහුදු වෙරළවල්වල සුද්දෝ සහ සුද්දියන් නාන තරමක්‌ නාන්නේ අඩ නිරුවතිනි. කොට කලිසම්වලිනි. ලැම, ඉඟ පමණක්‌ යාන්තම් වැසෙන බිකිනි වලිනි. ඉඳින් මිනිසුන් වහා 119 ට කතා කළ යුතු නොවේද?

119 ට කතා කරනවා නම් කතා කරන්නට බොහෝ දේ තිබේ.

මේ දිනවල දේශපාලන නායකයෝ ද ගෝල බාලයෝ ද බොහෝ සේ බොරු කියති. වැඩි පඩි, ලක්‍ෂ ගණනින් රැකියා, ආධාර ණය, සහන ආදී වශයෙන් විශාල ප්‍රමාණයේ පොරොන්දු දෙති.

ඔවුන් මෙසේ පොරොන්දු දෙන්නේ අතේ සතේ නැතුවය. ශ්‍රී ලංකාව මේ වන විට රටේ බදු ආදායම මෙන් 700 ය ගුණයක්‌ පිටරටවලට ණය ය. පිටරටවලින් ගත් ණය ගෙවීමට තවත් ණය ගන්නා රටකි. ඉතින් දෙනවාය කියනමේ දේවල් දෙන්නට මුදල් කොයින්ද? මෙසේ කියන්නේ අසන්නේ අප නොව අප රටේ ආර්ථික විශේෂඥයන් ය.

සන්ධානයේ පාර්ශ්වකරුවකු වන ඩියු ගුණසේකර මහතා පමණක්‌ මේ ඇත්ත ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. කළ නොහැකි දිය නොහැකි දේවල් දෙනවාය කියන්නේ බොරුවටය.

බොරු කීම නිර්මල බෞද්ධ සංස්‌කෘතියට අනුව වරදකි. ශිෂ්‍යයන් තිදෙනෙක්‌ සහ ශිෂ්‍යාවක්‌ ගඟෙහි නෑම පාපයක්‌ නොවේ. ජනතාව රැවටීම පාපයකි. එසේ නම් ජනතාව වහා 119 ට කතා කොට මෙන්න බොරු කියනවා යෑයි පැමිණිලි කළ යුතුය. ගඟෙහි නාන අරක්‌කු බොන අය අල්ලා ගෙන යා හැකි වුවත් මේ අයට විරුද්ධව මේ රාජකාරි කළ නොහැකි යෑයි පොලිසිය කියනු ඇත.

පොලිසියට කළ නොහැකි රාජකාරිය ඉතා සාමකාමී ලෙස ජනතාවට කළ හැක. අගෝස්‌තු 17 දා ඔවුන්ට පැන්සලක්‌ ලැබේ. ඒ පැන්සල ලැබෙනනේ එම රාජකාරියටය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
Source: Divaina