කතාවක්‌ තුළ සැඟවුණු කතාව…

0
638

(අනතුර තේරුම් ගනිමු)

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළිsන් ඇති මරිච්චකට්‌ටි, කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට අභියාචනාධිකරණය මගින් පෙරේදා (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇතැයි සඳහන් වූ පුවතක්‌ ඊයේ “දිවයින” මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය යටතේ පළවී තිබිණි.

විශේෂත්වය වන්නේ මේ නඩුව 2015 වර්ෂයේ ජුලි 15 වැනිදා අභියාචනාධිකරණ නඩු අංක 291/2015 යටතේ ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්‌ති කේන්ද්‍රය (රාජ්‍ය නොවන සංවිධානයකි) විසින් වීමය. ඒ හැර රජය හෝ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරනවා තබා මේ ගැන නියමාකාරයෙන් ක්‍රියාත්මක වද නැති බව සඳහන් කළ යුතුය.

විශේෂයෙන් ප්‍රවෘත්තියේ සඳහන් වන, වන රක්‍ෂිතය නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම යන කාරණය කෙරෙහි වහා ක්‍රියාත්මක විය යුතු වගකිව යුතු සියල්ලෝම ඒ කෙරෙහි උදාසීන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇති බව පෙනේ. අධිකරණයට යොමුවූ ප්‍රශ්නයක්‌ බැවින් ඒ ගැන අපි කිසිවක්‌ නොලියමු.

එහෙත් මතක්‌ කළ යුතු වැදගත් කරුණු කාරණා කිහිපයක්‌ වේ. එනම් ඉහත ප්‍රශ්නයට අදාළ ප්‍රදේශයේ පදිංචි කර ඇතැයි කියන ජනයා සම්බන්ධයෙන් මතුවන ඇතැම් සැක සහිත කාරණාය. පළමුවැන්න ඒ පදිංචි කර ඇති ජනතාවගෙන් සමහරක්‌ කතාකරන භාෂාව බොහෝ දෙනකුට නොතේරේ යෑයි කීමය. දෙවැන්න ඡායාරූප සාක්‌ෂිද සහිතව පෙන්වා දුන් අංක රහිත යතුරු පැදි ආදියයි.

සංහිඳියාව වෙනුවෙන් යන ගමනකදී සැකය අවිශ්වාසය මතුකිරීම සුදුසු නැතැයි කියෑවේ. එහෙත් වර්තමානයේ පැන නැඟී ඇති බොහෝ කරුණු කාරණා ගැන සැළකීමේදී එසේ නොකර බැරි තත්ත්වයක්‌ද තිබේ.

“යමක්‌ හෝ යමෙකු පිළිබඳව දැඩි ලෙස සැක කිරීමද, දැඩි ලෙස විශ්වාසය පළ කිරීමද, භක්‌තිවන්ත වීමද සුදුසු නැත. වඩාත් විශ්වාසය පළ කළ විට වරද නිවරද සොයා ගැනීම තරමක්‌ අසීරුවේ. එහෙයින් යමක්‌ හෝ යමෙකු පිළිබඳව කුඩා දරුවකු ලෙස ප්‍රශ්න කිරීම සුදුසු වේ” යෑයි ප්‍රකට කතාවක්‌ තිබේ.

මේ ප්‍රශ්න කරන්නේ ඒ න්‍යායේ පිහිටාය. මේ වනවිට ලොව පුරා අන්තවාදය පිළිකෙව් කරන සෑම මිනිසෙකුගේම දැඩි පිළිකුලට පාත්‍රව සිටින ISIS (අයි.එස්‌.අයි.එස්‌) අන්තවාදී ත්‍රස්‌තවාදය ලොවපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවෙන් එවැනි අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීනට එක්‌වූ ශ්‍රී ලාංකික මුසල්මානුවන් පිරිසක්‌ ගැන පසුගිය දිනවල දිගින් දිගටම පුවත් පළවිණි.

මේ අතිශය නරක තත්ත්වය හා අනතුර වලකාලීම සඳහා එවැනි සැකපහළ කිරීමක්‌ අවශ්‍ය වේ. ජාතික ආරක්‍ෂාව ගැන සිතිය යුතු බොහෝ දෙනකුට එය අමතකව යන මොහොතක රටට ආදරය කරන බොහෝ දෙනකු එසේ සිතීම අත්‍යවශ්‍යය.

අධිකරණයට යොමුව ඇති විල්පත්තු කතාවෙහි නොපෙනෙන පැත්ත එයයි. වරදකට එපිටින් තවත් භයානක වරදක්‌ සිදුවේ නම් ඒ ගැන සොයා බැලීම රටට ආදරය කරන පුරවැසියන්ගේ වගකීමයි. රටේ කවර හෝ තැනක සිදුවන ජන ව්‍යාප්තියක්‌ කෙරෙහි වෛරී සහගත හෝ අන්තවාදී ආකල්පයකින් බලනවා යෑයි වරදවා වටහාගන්නට ඉක්‌මන් නොවන්නැයි, අපි තත්ත්වය හරිහැටි වටහා නොගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

අපි දශක තුනක යුද්ධයක අමිහිරි අත්දැකීම් වලින් ඕනෑවටත් වඩා පෝෂණය වී සිටිමු. ඒ යුගයේ පවා අපි බොහෝ දේ දෙස “සැකය” මුල්කර ගෙන බැලුවේ නැත. තමාගේ අසල්වැසියා, හිතමිතුරා අහල පහල ගමේ එකා ගැන සැකපහළ කළේ නැත. වැඩේ පත්තු වුණේ බෝම්බ පුපුරන විටය. ආරක්‍ෂක අංශ වලින් පැමිණ කුදලාගෙන ගියේ පෙර කී ගමේ එකාය. අසල්වැසියාය. එතෙක්‌ අපිට ඔහු ත්‍රස්‌තවාදියකු නොවීය. යුද්ධය පැවැති දශක තුනේම අපි වරින් වර, වරින්වර ඒ මෝඩකම කළෙමු.

නොදන්නා පිරිසක්‌ පැමිණ අමුතු භාෂාවකින් කතා කිරීම හා අංක තහඩු නැති යතුරු පැදි නවතා තිබෙන කැළෑබද ප්‍රදේශයක ජීවත්වන්නට අතහැරදමා ඇතැයි කියන මිනිසුන් ගැන අපි ප්‍රශ්න කරන්නේ ඒ සැකයෙනි. පෙර මෝඩකම නැවතත් නොකළ යුතු නිසාය, රෑ වැටුණු වළේ මහා දවල් නොවැටිය යුතු නිසාය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය නිසාය.

එපමණකුදු නොව, එල්.ටී.ටී.ඊ ය මෙන්ම අතිශය පිළිකුල් සහගත, ම්ලේච්ඡ වනචාරී සිය අරමුණු වෙනුවෙන් ඕනෑම ජාතියක්‌ සමූල ඝාතනය කළ හැකි අයි. එස්‌. අයි. එස්‌. වැනි ත්‍රස්‌තවාදී සංවිධානයක සෙවනැලි අපේ රටේද හොල්මන් කරන නිසාය. අප අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.

S