ආයේ කිසිම දවසක දේශපාලනයට එන්නේ නෑ

0
576

ඡන්දෙ ඉල්ලන අදහස සිතින් අයින් කළා – කමල් අද්දරආරච්චි

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියපු කමල් අද්දරආරච්චිට අන්තිම මොහොතේ නාම යෝජනා අහිමිවුණා. මොකක්ද ඇත්තටම එතැන සිද්ධවුණේ?
ගම්පහ විතරක් ‍නෙවෙයි, රත්නපුරය, කළුතර, අනුරාධපුරය කියන දිස්ත්‍රික්කවලටත් මගේ නම යෝජනා වුණා. මොකද, මම පක්ෂයට ලිඛිතව දැනුම් දුන්නා ලංකාවේ ඕනෑම පළාතකින් ඡන්දෙ ඉල්ලන්න මම සූදානම් කියලා.

හැබැයි නාම යෝජනා ලබාදෙන දවස්වල කවුරුත් හිතුවේ ඔබ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වේවි කියලා?
ඔව්. ගම්පහ කියන්නේ කොළඹට ආසන්න දිස්ත්‍රික්කයක්. මට ඕනෑම වෙලාවක ගම්පහට යන්න එන්න පුළුවන්. ඒ නිසා මගේ වැඩි කැමැත්තකුත් තිබුණා ගම්පහින් ඉදිරිපත් වෙන්න.

ඉතින් ඇයි ඒ අවස්ථාව නොලැබුණේ ?
ඒ වෙනකොට හැමදේම සාකච්ඡා මට්ටමෙයි තිබුණේ. රන්ජන් රාමනායකත් ගම්පහ ලැයිස්තුවේ ඉන්න නිසා ගම්පහට නළුවෝ දෙන්නෙක් වුවමනා නැහැ කියලත් අදහසක් ඉදිරිපත් වුණා. ඔය අතරේ තමයි විකල්ප කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණේ. ඒ අය ඇවිත් සාකච්ඡා කරන කොට අන්තිම මොහොතේ රාජිත සේනාරත්න මහත්මයාගේ පුතා වෙනුවෙන් මට මගේ අවස්ථාව පූජාකරන්න සිද්ධ වුණා.

නාමයෝජනා ලැබුණා නම් දිනන්න පුළුවන්කමක් තිබුණාද?
අනිවාර්යයෙන්ම. එහෙනම් මම අනිත් අයව පුදුම කරවනවා.

ඒ කියන්නේ නාමයෝජනා ලැබුණා නම් ලැයිස්තුවේ මුල්තැනට එන්න ඔබට පුළුවන්කම තිබුණා කියන එකද?
මම එහෙම කියන්නේ නෑ. හැබැයි ඡන්දෙ ඉල්ලුවානම් මම දිනන බව නම් සහතිකයි.

ඔබට දේශපාලන අත්දැකීම් නැහැ. ඉතින් කොහොමද ඔය තරම් විශ්වාසයක් තියෙන්නේ දිනන්න පුළුවන් කියලා?
මම දේශපාලනයට ආගන්තුක චරිතයක් බව ඇත්ත. ඒත් මම හැමදාමත් ජනතාවත් එක්ක හිටපු කලාකරුවෙක්. වෙන කෙනෙකුට මේ වගේ සිදුවීමක් වුණා නම් විවිධ විදිහේ අවඥාවන්ට ලක්වෙන්න සිදුවෙනවා. හැබැයි කවුරුවත් මට එහෙම කළේ නැහැ. මට නාමයෝජනා ලැබුණේ නැහැ කියලා දැනගත්තාම හුඟක් අය දුක්වුණා.

නළුකම එපාවුණු නිසාද දේශපාලකයෙක් වෙන්න හිතුවේ ?
දේශපාලකයෝ අපේ රටේ තත්ත්වය හරිහැටි තේරුම් අරගෙන නැහැ. අද සකල කලාවේම  පිරිහීමකුයි  තියෙනේ. ඒ නිසා ජනතාව ගුණධර්ම අතින් පහළ මට්ටමකට වැටිලා. ඒ තත්ත්වය වෙනස්කරලා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්කම තිබෙන්නේ කලාකරුවන්ටයි. ඒ නිසා තමයි කලාව ගැන දැනුමක් තියෙන, කලාවට හිතැති නිර්මාණශීලී මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කියන ස්ථාවරයේ මම ඉන්නේ.

ඉතින් පාර්ලිමේන්තුවට ගියපු කලාකරුවෝ සහ කලාකාරිනියෝ ඔය කියන විදිහේ සේවයක් කළාද ?
ඒ අය තමන්ගේ භූමිකාව හරියට තේරුම් ගත්තේ නැහැ. එක්කෝ වෙන කෙනෙකුගේ අක්‍රමිකතාවක් ගැන කතා කරමින් හැමදේටම දේශපාලන විසඳුම් සෙව්වා මිස ඒ කවුරුවත් කලාව ගැන කතා කළේ නැහැ.

පාර්ලිමේන්තුවට යන්න බැරි වුණත් වෙනත් තනතුරක් දුන්නොත් බාර ගන්නවාද?
තනතුරු බලාගෙන ‍නෙවෙයි මම මේ ජරාජීර්ණ දේශපාලනයට පය තබන්න හිතුවේ. ලොකු වෙනසක් කරන්න පුළුවන්කම තියෙන විශේෂ ආයතනයක තනතුරක් වගේ නම් බාරගන්නවා. එහෙම නැතුව, චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම වගේ තනතුරක් බාරගන්නවා කියන්නේ ගිලෙන නැවක කප්පිත්තෙක් වෙනවා වගේ දෙයක්.

නාමයෝජනා නොලැබිම ගැන කනගාටුවෙන්ද දැන් ඉන්නේ?
නෑ. දැන් මට හිතෙනවා නාමයෝජනා නොලැබිම මගේ හොඳට වෙච්ච දෙයක් කියලා. දැන් මට හැමෝම එක්ක සහයෝගයෙන් වැඩකරන්න පුළුවන්.

ඔහොම කිව්වාට, ඊළඟ මැතිවරණයට ඔබ ඉදිරිපත් වේවි?
නෑ …. ආයේ නම් ඡන්දෙ ඉල්ලන්න බලා‍පොරොත්තුවක් මට නැහැ. මහ මැතිවරණයකට නම් කොහෙත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ.

කමල් අද්දරආරච්චි කියන ප්‍රතිභාපූර්ණ නළුවාට දැන් මොකද වෙලා තියෙන්නේ?
පසුගිය අවුරුදු දොළහටම මම ටෙලිනාට්‍යයක රඟපාලා නැහැ. ඒ අවුරුදු දොළහට ප්‍රධාන චරිත ලැබුණ චිත්‍රපට හතරක වගේ තමයි මම රඟපෑවේ. හොඳ නිර්මාණ බිහි නොවීම තමයි මගේ නිහඬතාවයන්ට ප්‍රධානම හේතුව. හැබැයි මම රඟපෑමෙන් සමු අරන් නැහැ. සුදුසු චරිතයක් ලැබුණොත් මම රඟපානවා.

Source : Lakbima