කිළිනොච්චියේ මල් කැකුළ තලා දැමූ 14 හැවිරිදි පාපතරයා නීතියේ රැහැනට හසුවෙයි

0
599

අපේ ගැමි වහරේ ඇති “නරියට කුකුල් කොටුව බාර දුන්නා” වගේ “වක්‌කඩේ හකුරු හැංගුවා වගේ” මේ ආදී කියමන්වලට පණ පොවන සිද්ධීන් දැන් නිතර නිතර අසන්නට දකින්නට ලැබෙන්නේය.

උතුරේ පැවැති යුද්ධය ඒ ප්‍රදේශයේ ජනතාව ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කළේය. යුද්ධය නිමවීමෙන් පසු ඔවුන් සැනසුම් සුසුමන් හෙළුවේ තම දරුවන් සමඟ නිදහසේ ජීවත්වීමට ඉඩකඩ ලැබුණු නිසාය. එසේ වුවද ඇතැම් මවුවරුන්ට තමන්ගේ දරුවන්ගේ රැකවරණය පිළිබඳ හැඟීමක්‌ තිබූ බවක්‌ නොපෙනිණි.

පසුගියදා, කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කය උණුසුම් කළ එවැනි පුවතකින් කියවුණේ මවක්‌ තම දියණියගේ රැකවරණය සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීමේ විපාකයකි. යුද්ධයෙන් බැට කා මානසික කම්පනයක්‌ උතුරේ ජනතාවට නැතැයි කිව නොහැක. අද ඔවුන්ට නිදහසේ එහෙ මෙහෙ යන්නට හැකි වූයේ යුද්ධය නිම වූ නිසාය. යුද්ධය නිම වුවද මිනිසුන්ගේ තිරිසන් ගති නිමවී නැත. ඒ නිසාවෙනි. අපට මේ කථාව ඔබට කියන්නට සිදුවූයේ.

ඇගේ වයස අවුරුදු 3 කි. තවමත් කටින් කිරි සුවඳ නොගිය මේ දැරිය එදා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටියාය.

“පුල්ලේ නාං කුලික පෝග වේන්ඩුම්” ළමයා මම නාන්න යන්න ඕනේ. “නල්ලං අම්මා. නානුන් වදවේන්” හොඳයි අම්මා මමත් එනවා. එසේ කියූ පුංචි දැරිය ගෙට දුව ගොස්‌ ඇය කැමතිම පුංචි සායක්‌ හා හැට්‌ටයක්‌ද අතේ අකුලාගෙන අම්මා එක්‌ක ගඟට දිය නෑමට පිටත් විය. ඒ ඇගේ අන්තිම නෑම හෝ අම්මාගේ අතේ එල්ලී යන අන්තිම ගමන හෝ යෑයි ඇයට නොසි තෙන්නට ඇත.

ගඟට ගිය මව හා දියණිය නාන්න සූදානම් වෙද්දී ඔවුන්ගේ නිවස අසල තරුණ පිරිමි ළමයෙකු ද එහි ආවේය. ඔහුගේ පැමිණීම ගැන සතුටු වූ මව දියණිය බොහෝ වේලාවක්‌ වතුරේ සීතලේ තැබීම හොඳ නැතැයි කල්පනා කර ඇය නහවා දැරිය නිවසින් ගෙන ආ සාය හා හැට්‌ටය අන්දවා තරුණ පිරිමි ළමයාට බාර දුන්නේ පරිස්‌සමින් ගෙදරට ඇරලවන ලෙස දැනුම් දෙමිනි.

වයස අවුරුදු 14 ක්‌ පමණ වූ කොලුවා මේ දැරියගේ අතින් අල්ලාගෙන කැඳවා ගෙන ගියේ තම නැඟණියක කැඳවාගෙන යන තරමේ සෙනෙහසිනි. එහෙත් අතරමගදී ඔහුගේ හැසිරීම වෙනස්‌ විය. හුරු බුහුටි පෙනුමැති මේ දැරිය, දූෂණය කරන්නට ඔහුට සිත් පහළ විය. මේ වයස 14 ක කොලුවාට ඒ හැඟීම ඇතිවන්නට පසුබිම වූ හේතු හා ඊට පූර්වාදර්ශ සැපයීම සිදුවූයේ කාගෙන්ද යන්න වෙනම ප්‍රශ්නයකි. කෙසේ හෝ මොහු මේ ළපටි දැරිය දූෂණයට ලක්‌ කළේය.

වැඩේ නිමවූ ඔහුගේ සිත කලබලයට පත්වූයේ “මේකි මේක කාට හරි කිව්වොත් මම ඉවරයි” යන හැඟීමෙනි. ඔහු වහා ක්‍රියාත්මක වී දැරියගේ ගෙල තඳින් මිරිකා ගත්තේ යාන්තම් කෙඳිරිල්ලක්‌වත් කරන්නට දැරියට ඉඩක්‌ නොතබාය. මේ පුංචි මල් කැකුළ අවසන් ගමන් ගියේ ඇය මව සමඟ නාන්න යන විට තමන් අඳින්න ආශාවෙන් රැගෙන ගිය සාය ඇඳගෙනම නොවේ.

මේ සිද්ධියෙන් පසු දැරියගේ අතුරුදන්වීම කිළිනොච්චිය පුරාවම භීතියට පත් කළේය. දැරියගේ මව පොලිස්‌ අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කළේය. ඒත් ඇය විටින් විට විවිධ කරුණු කීම නිසා දැරියට සිදු වූ දේ සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. දින සති ගෙවෙද්දී කුඹුරක වැඩට ගිය ගොවීන් මඳක්‌ නරක්‌ වූ සිරුරක්‌ ගැන පොලිසියට දැන්වීය. පොලිසිය මළ සිරුර සොයාගෙන පරීක්‍ෂණ පවත්වද්දී දැරියගේ මව තම දියණිය ගෙදරට ඇරලවන්නට රැගෙන ගිය කොලුවා ගැන කීවේය.

පොලිසිය කොලුවාද අත්අඩංගුවට ගත්තේය. “වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපටයක මෙන් සියල්ල පොලිසියට අනාවරණය කර ගත හැකි විය.

සමාජය තුළ සාමය, නිදහස හා රැකවරණය ඇති බවට මතුපිටින් පෙනෙන නමුත් අළු යට ගිනි පුපුරු මෙන් මේ සමාජය තුළ ජීවත්වන තිරිසනුන්, මෘගයින් හා අවස්‌ථාවාදීන් ගෙන් අඩුවක්‌ නැති බව අප මතක තබා ගත යුතුය.

ජයසූරිය උඩුකුඹුර
Source : Divaina