වර්ජනවලට අකැප මහ මැතිවරණ සමය

0
609

ලබන මස 17 දා පැවැත්වෙන මෙරට 8 වැනි මහ මැතිවරණයට දැන් මුළු රටම සූදානම් වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට අයත් අපේක්ෂකයන් පමණක් නොව ඔවුන්ගේ ආධාරකරුවන් පවා මේ දිනවල පසුවන්නේ හිස ගිනිගත්තවුන් ලෙසිනි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ ‍පොලීසියේ සූදානම ඊටත් එහා ගිය එකකි. මුළු මහ මැතිවරණයේම බර මැතිවරණ කොමසාරිස්වරයාගේ සහ ‍පොලිස්පතිවරයාගේ කර මතට වැටී තිබිම එවැනි තත්ත්වයක් ඇතිවීමට මුල්වූ හේතුවයි. මෙවැනි ජාතික මට්ටමේ මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමෙන් පසු එය අවසන්වී ප්‍රතිඵල නිකුත් කිරීම නිම කෙරෙන තුරුම රට පුරා ක්‍රියාත්මක කෙරෙන්නේ නිශ්චිත වැඩපිළිවෙළකි.
එම කාලය තුළ රාජ්‍ය සේවයට අයත් නව පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු ලබා දීමත්, එක් එක් අපේක්ෂකයන්ගේ ‍පෝස්ටර්, බැනර් සහ කටවුට් මගදෙපස සහ වාහනවල ප්‍රදර්ශනය කිරීමත්, ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ තෑගිබෝග බෙදාහැරීමත් මේ දිනවල සපුරා තහනම්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙවැනි පියවරක් ගෙන ඇත්තේ නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමේ අරමුණින් යුතුවය.
‍පොලිස් දෙපාර්තමේන්තුව මගින්ද ඊට සමගාමීව සුවිශේෂ ක්‍රියාමාර්ගයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.
ලබන මස 17 දා පැවැත්වෙන මහ මැතිවරණය මුල්කරගෙන රට පුරා මෙවැනි සුවිශේෂී ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් තිබිය දී ඇතැම් වෘත්තීය සමිති හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරකිනි. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ ලබන 3දා (සඳුදා) සිට ක්‍රියාත්මක කිරීමට සැරසෙන දුම්රිය වැඩ වර්ජනයයි.
ඒ පිළිබඳව පළවූ ජනමාධ්‍ය වාර්තා සඳහන් කළේ වැටුප් කොමිසම මගින් නිර්දේශ කර ඇති නව වැටුප් වැඩි කිරීමක් ප්‍රමාද වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ලබන 3 දා සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. එම වෘත්තීය සමිති එකමුතු සඳහන් කරන හේතුසාධක සියයට 100ක්ම සාධාරණ විය හැකිය.
එසේම තමන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව පාලක පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන තත්ත්වයක් තුළ වැඩවර්ජනයක් දක්වා විහිදී යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ඕනෑම සේවක පිරිසකට අයිතියක් තිබේ.
එහෙත් ප්‍රශ්නය වන්නේ මහ මැතිවරණයක් සඳහා දින නියම කර තිබෙන තත්ත්වයක් තුළ යම් වෘත්තීය සමිතියක් මගින් කෙරෙන ඉල්ලීමක් ඉටු කිරීමට භාරකාර ආණ්ඩුවකට හැකියාවක් තිබේද යන්න පිළිබඳවය.
දුම්රිය සේවකයින්ට අමතරව ජාතික රෝහල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් සහ වෙනත් සෞඛ්‍ය ආයතනයන්හි සේවය කරන පරිපූරක හා අතුරු වෛද්‍ය නිලධාරීන්ද ඉකුත් 29 දා වැඩවර්ජනයක් ආරම්භ කළද පසුව එය අත්හිටුවිණි. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කර තිබුණේ ඉල්ලීම් 5ක් සඳහා සති දෙකක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ලේකම්වරයා විසින් දෙන ලද ප්‍රතිඥාවක් මත එම වර්ජනය අත්හිටුවූ බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් ආශ්‍රිතව පැවැත්වීමට ගිය වැඩවර්ජනය තාවකාලිකව හෝ යටපත්වීම ජනතාවට බලවත් සහනයකි.
සෞඛ්‍ය වැඩවර්ජනය එලෙස යටපත් වුවද ලබන 3 දා සඳුදා පැවැත්වීමට නියමිත දුම්රිය වැඩවර්ජනය පිළිබඳ අවදානම තවමත් ගිනියම් වෙමින් පවතී. ජරමර අස්සේ බර කරත්ත යැයි කීවාසේ මහ මැතිවරණයක් අත ළඟ තිබියදී දුම්රිය සේවය නතර වුවහොත් එමගින්ද බොහෝ දුක් හිරිහැරවලට ලක්වන්නේ රාජ්‍ය සේවකයන් ඇතුළු ‍පොදු ජනතාවයි.
අත්‍යවශ්‍ය සේවාවන්හි නියැළි සේවකයන්ගේ නිවාඩු මේ වනවිටත් අවලංගු කර තිබිම ඒ සඳහා මුල්වූ එක් හේතුවකි. අනෙක් හේතුව වන්නේ උසස් පෙළ විභාගයේ මුල් අදියර අගෝස්තු මස 4 දා සිට 13 දා දක්වා පැවැත්වීමයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද තම වෘත්තීය ප්‍රශ්නයක් මුල් කරගෙන ඉකුත් 29 දා සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබුණේය. එහෙත් පවතින තත්ත්වයේ බරපතළකම වටහා ගත් ඔවුහු පසුව එම තීරණය කල්දමා තිබුණහ.
දුම්රිය සේවකයන් මෙලෙස වැඩවර්ජනයක් පැවැත්වීමට යන්නේ මැතිවරණය නිසා තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට පහසුවක් වෙතැයි සිතා විය යුතුය. එහෙත් එය මිත්‍යාවක් වන්නේ භාරකාර ආණ්ඩුවකට එවැනි ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් පවතින බැවිනි. වෘත්තීය සමිති පමණක් නොව ඒවාට නායකත්වය සපයන දේශපාලන පක්ෂ නායකයන්ද ඒ බව වටහාගෙන නම්‍යශීලීව කටයුතු කිරීම මෙවැනි අවස්ථාවකදී අතිශයින් වැදගත් වේ.

Source : Lakbima