මගේ හදවත හඬන හඬ ඔබ සියළු දෙනාට ඇසේවා

0
787

ඇය මේ සිනහවෙන්නේ ඔබගේ කරුණාව ගැන ඇති දැඩි විශ්වාසයෙන් බව මම දනිමි. නමුත් ඒ සිනහව යට ඇති ගින්දරද මම දකිමි. මේ ගෙවෙන්නේ ඇගේ ජීවිතය පිළිබඳ ‘පරිවාස කාලයකි’. එය තුන් මසකි. ඇය අපව හමුවන විටද ඉන් සති කිහිපයක්‌ ගෙවී ගොස්‌ තිබුණි. තවත් සති 4 ක්‌ තුළ ඇය සිය ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රශ්නයට පිළිතුර සොයාගත යුතුව ඇත. නමුත් ඒ පිළිතුර ඇයට සපයාදිය යුත්තේ ඔබය.

ඇය නිශාදනී සමරසිංහය. 19 හැවිරිදිය. වැඩිමහල් සොයුරියක්‌ සහ සාමාන්‍ය පෙළ වයසේ පසුවන සොයුරකුද සහිත පවුලක මද්දුමීය. ගම මතුගමය. ඉගෙන ගත්තේ මතුගම අධිකාරම් විදුහලේය. ඈ නැටුමට හපනීය. පද්‍ය ගායනාවට හපනීය. ඇය මේ දෙඅංශයෙන්ම සමස්‌ත ලංකා මට්‌ටමට ගියාය. එහෙත්…

නටන අතරතුර තමන්ට අධික මහන්සියක්‌ දැනෙන බව නිශාදනීට දැනෙන්නට විය. කවි කියමින් නර්තනයේ යෙදීමට ඇයට නොහැකිවිය. පද්‍ය ගායනයේ ඉහළ ස්‌වරවල රැඳෙන විටද ඒ වෙහෙස එලෙසින්ම ඇයට දැනෙන්නට විය. මේ අමුත්ත කුමක්‌දැයි ඇය නොදත්තාය.

මේ අතරතුර පුද්ගලික අංශයේ රියදුරු රැකියාවක යෙදෙන ඇගේ පියා හදිසි අනතුරකට ලක්‌විය. ඔහුගේ ගතේ සවිය මේ අනතුර විසින් තාවකාලිකව ගිලගත්තේය. සිය පියා යළිත් නැගිටගන්නාතුරු පවුල රක්‍ෂා කිරීමේ වගකීම නිශාදනී පවරාගත්තේ, කොන්ත්‍රාත් පදනම යටතේ සේවයකට ගිය මවට ඒ බර තනිව දැරීමට නොහැකි බව දත් නිසාමය.

නිශාදනී, හෝමාගම පිහිටි පෞද්ගලික ආයතනයක රසායනාගාරයේ රැකියාවක්‌ ලැබුවාය. මතුගම සිට හෝමාගමට දුර බැහැර ගෙවාගෙන සේවයට පැමිණීම පහසු දෙයක්‌ නොවූවද, ඇය දිනපතා සේවයට පැමිණියාය. මේ අතරතුර විටින් විට කිහිපවරක්‌ මේ අහිංසකිය ක්‌ලාන්ත විය. වෙනදා නොතිබූ හිසරදයකින් ඇය පීඩාවින්දාය. පපුවේ පැත්තකින් දැනෙන වේදනාවක්‌ අතේ ඇඟිලි දක්‌වා විහිදෙන්නට විය. කකුල් ඉදිමෙන්නට විය. එහෙත් නිශාදනී නතර නොවුනාය. කකුල් ඉදිමුනද හිටගෙන හෝ බසයෙන් ඇය සේවයට ආවාය. ඇය දිරිය දියණියක්‌ම වූවාය.

මේ අතර දිනක ඇයගේ පපුවෙන් නැගෙන වේදනාව උත්සන්න විය. ඇය රෝහල්ගත විය. ඇයව එකෝ පරීක්‍ෂාවකට ලක්‌ කෙරිණි. එහි ප්‍රතිඵලයෙන් පැවසූ දෙය ඇගේ මෙන්ම පවුලේ අයගේද හදවත් මොහොතකට නවතා දැමීය. එයින් කියෑවුණේ නිශාදනීගේ හදවතේ ඇති සිදුරක්‌ හේතුවෙන් එහි පිරිසිදු ලෙයට, අපිරිසිදු ලෙය එකතුවන බවයි. ඇයට මේ සියලු අපහසුතා ගෙන දී තිබුණේ හදවතේ තිබූ එකී දෝෂයයි.

වෛද්‍ය නිර්දේශය වූයේ ඇය මාස 3 ක්‌ තුළ සැත්කමකට ලක්‌විය යුතු බවයි. එය පෞද්ගලික රෝහලක සිදුවන්නේ නම් රුපියල් ලක්‍ෂ 12 ක්‌ වැයවේ. එය රජයේ රෝහලක සිදු කළද ඒ සඳහා වන කපාටයට යන වියදම සහ අනතුරුව ලබාගත යුතු බෙහෙත්හේත් ආදිය සියල්ලම ගත්විට වැයවන්නේ රුපියල් ලක්‍ෂ 08 ක පමණ මුදලකි. ඒ අනුව කොළඹ මහ රෝහලේ අගෝස්‌තු 25 වැනිදා ඇගේ සැත්කමට දින යෙදුණි. සැත්කමට දින යොදාගත්තද, රුපියල් ලක්‍ෂ 8 ක්‌ සොයාගැනීම සඳහා ක්‍රමයක්‌ යොදාගැනීමට ඇයට නොහැකිවිය. හෙට අනිද්දාට සේවා කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතව සිටින මවට හෝ හදිසි අනතුරෙන් පසු අදටද සහමුළින්ම සුවය ලබා නොමැති පියාට මේ බර දැරිය නොහැකිය. නමුත් තමන්ව බේරාගැනීම ආර්ථික සවිය ඇති මව්වරු, පියවරු, සහෝදර සහෝදරියන් සිය දහසක්‌ මේ රටේ වනු ඇතැයි සිතූ නිසාය ඇය අප සොය පැමිණියේ. දියණියකගේ, සොයුරියකගේ දුක දැනෙන මිනිසුනි. අපි එකතුවෙමු. දේශපාලනයට වරම ඉල්ලා සිටින මහත්වරුනි. අපි ඇයට උපකාරයක්‌ කර ජනහිතකාමීත්වය ක්‍රියාවෙන් පෙන්වමු.

(වැඩි යමක්‌ දැනගන්නට අවශ්‍ය නම් 0718557129 අංකයට අමතන්න. ඇගේ හදවතේ වේදනාව ඔබේ හදවතට දැනේනම්, ඇගේ පියාගේ නමින් හෙවත් ඩී.වී.පී. ඩයිනීසියස්‌ නමින් මතුගම සෙලාන් බැංකුවේ ඇති අංක 0660-33474016-101 දරණ ගිනුමට මුදලක්‌ බැර කරන්න)

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
Source : Divaina