පිළිකුත්තුව සහ අවට ගම්මාන

0
1120

පහතරට මුල්ම ජනාවාස පැවති (සියනෑ කෝරළය) බවට විශ්වාස කළ හැකි පිළිකුත්තුව ගම්මානය පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ ය. ක්‍රි.පූ. 03 වැනි සියවසට පමණ අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි කීපයක් ද ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ මහා විහාරයක් ද මෙම ගම්මානයේ වෙයි. එය පිළිකුත්තුව රාජ මහා විහාරය යි.

කොළඹ මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් හැරී වතුරුගම පාරේ හෝ කොළඹ මහනුවර මාර්ගයේ යක්කල මංසන්ධියෙන් හැරී කිරිඳිවැල පාරේ හෝ සැතපුම් දෙක හමාරක් පමණ ගිය තැන පිළිකුත්තුව ගම්මානය හමුවෙයි. ගම්පහ නගරයේ සිට පිළිකුත්තුව ගම්මානයට සැතපුම් පහක් පමණ වෙයි.

ක්‍රි.පූ. 104 දී පමණ (බු. ව. 440) ලංකා රාජ්‍යය විචාළ වට්ටගාමිණී අභය (වළගම්බා) රජතුමා දමිළ ආක්‍රමණයෙන් පැරදී පලා ගොස් දිර්ඝ කාලයක් සැඟවී සිටි ප්‍රදේශයක් ලෙසත්, ආක්‍රමණිකයන් පලවා හැර ලංකා රාජ්‍යය යළි ලබා ගැනීමට සේනා සංවිධානය කළ ස්ථානයක් ලෙසත් මෙම පිළිකුත්තුව ජනප්‍රවාදයේ එයි.

කඳු බෑවුමක පාමුල පිහිටි පිළිකුත්තුව රාජ මහා විහාරය සතුව ගල්ලෙන් 99 ක් පමණ ඇතැයි කියැවේ. ප්‍රදේශය පුරා අක්කර ගණනාවක් වසා තැන තැන පැතිරී ඇති මෙම ගල්ලෙන් සමූහය නිසා වළගම්බා රජතුමා මෙම ස්ථානයේ සැඟවී සිට ආරක්ෂාව පැතූ බවත්, යළිත් රාජ්‍යය ලබා ගැනීමට රහසිගතව හමුදා සංවිධානය කළ බවත් සිතීමට පුළුවන.

වළගම්බා රජතුමාට යළිත් රාජ්‍යය ලබා ගැනීමට හැකි වුවහොත්, තමාට ආරක්ෂාව සැපයූ, සෙවණ දුන් ගල්ලෙන් සියල්ල විහාරස්ථාන ලෙස සකස් කරන බවට බාරවූ බවක් ද ජනශ්‍රැති කියයි. ඒ අනුව පිළිකුත්තුව රාජ මහා විහාරය බිහි වූ බව පිළිගැනේ. එසේම පිළිකුත්තුව අවට පිහිටි වාරණ, කොස්කඳවල, මාලිගාතැන්න යන රාජ මහා විහාරයන් ද වළගම්බා රජතුමා විසින් කරවූ බව කියැවේ.

රාජ මහා විහාර නම් පොතේ පිළිකුත්තුව හඳුන්වා ඇත්තේ ඌරුවල ගොඩගෙදර නමිනි. පිළිකුත්තුව හා ඒ අවට ගම්මාන ඉහත සඳහන් කළ අයුරින් වළගම්බා රජතුමාගේ සම්ප්‍රාප්තිය හා හමුදා සංවිධානය සමඟ වෙනස් වූ අයුරු ජනශ්‍රැති අතර තවමත් පවතී. රජතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ ගම්මාන රාශියක නාමයන් ඒ ඒ රාජකාරි මත සැකසිණි.

රජතුමාගේ රෙදි පිළි සඟවා තැබූ ස්ථානය වූයෙන් මෙම ප්‍රදේශය පිළිකුත්තුව නම් වූ බව එක් මතයකි. රජතුමාට රෙදි පිළි මැසූ ගම පිළිකුත්තුව නම් වූ බව තවත් අදහසකි. “කොත්තු” යන ද්‍රවිඩ වචනයෙහි අදහස ගෙන බලන විට පිළිදුන්නා / රෙදි පිළි සැකසීම යන්න සිතීමට පුළුවන. ඇතැමෙක් පවසන්නේ වළගම්බා රජතුමාගේ බිසවගේ රෙදි පිළි හා ආභරණ ගලවා දමා සැඟවූ ස්ථානය පිළිකුත්තුව වූ බවයි.

“පටියත්ත” යන පාලි වචනය ආශ්‍රයෙන් පිළිකුත්තුව යන වචනය ව්‍යවහාරයට ආ බවක් ද කියැවේ. “පටියත්ත” යන්නෙන් නැවත කරවන ලද අදහස ගෙන දෙයි. සංඝාවාසයට සුදුසු ලෙස මෙහි ගල්ලෙන් සකසා පූජා කිරීමෙන් ඒ නම පැටබැ‍ඳෙන්නට පුළුවනි. පිළිකුත්තුවේ ප්‍රධාන සෙල් ලිපිය සඳහන් කරන්නේ ද සංඝාවාසයට පූජා කිරීමක් පිළිබඳව ය. “අනාගතයේ හා වර්තමානයේ සතර දිගින් වඩිනා සංඝයා සඳහා, අශ්වාරෝහක නිලධාරියාගේ සොඳුරු අග්ගිභූතියේ දානයයි” යනුවෙන් එම සෙල්ලිපියේ සඳහන් වේ. වළගම්බා රජතුමාට යළිත් රාජ්‍යය ලබා ගැනීමට හැකි වුවහොත්, තමාට ආරක්ෂාව සැපයූ, සෙවණ දුන් ගල්ලෙන් සියල්ල විහාරස්ථාන ලෙස සකස් කරන ‍බවට බාරවූ බවක් ද ජනශ්‍රැතිවල එයි. ඒ අනුව මෙම මතය ද බැහැර කළ නොහැකිය.

පටිකත්ත හෝ පිළිකත්ත යන වචනයේ අර්ථය ගෙන බැලුවහොත් පිළි කොහෙද, ඇඳුම් කොහෙද යන අදහස ගෙන දෙයි. මේ අදහස මත පිළිකුත්තුව යන නම පට බැඳුණු බවට තවත් කට වහරකි. එය කැලණිතිස්ස රජතුමා හා සම්බන්ධ කතාවකි. එය මෙසේය.

කැලණිතිස්ස රජතුමාගේ බිසව සමඟ රජතුමාගේ ම සහෝදරයෙක් හොර රහසේ ‍හාද වූ බවත්, මේ කුමාරයා රජතුමාට බයේ භික්ෂු වේශයක් ගෙන පැන ගොස් යළි ගිහි වෙස් ගත් බවත් කියැවේ. සිවුර ලවා දැමූ ස්ථානය සිවුරළුමුල්ල (සිවුර ලූ මුල්ල) බවත්, ඇඳුම් කොහෙද? ඇඳුම් දමා ගිය ස්ථානය කොතැනද යන්න විමසූ ස්ථානය පිළිකුත්තුව නම් වූ බවත් පැවසේ. මේ සිවුරළුමුල්ල හා පිළිකුත්තුව එකිනෙකට කිට්ටුව පිහිටි ගම්මාන දෙකකි.

පිළිකොටුව, ආරච්චිකොටුව, මල්කොටුව, හාල්පන්කොටුව, බිලිගහකොටුව යන කොටි පහ (ප්‍රදේශ) එක් වී පිළිකොටුව නම් වී පසුව පිළිකොත්තුව සෑදී, කල්යත්ම පිළිකුත්තුව වූ බවට අදහසක් පවතින්නේ යැයි පිළිකුත්තුව රාජ මහා විහාරයේ හිටපු විහාරාධිපති, අපවත් වී වදාළ කිණිගම ආනන්ද හිමියන් පවසා ඇත.

පිළිකුත්තුව හා එය අවට අනෙකුත් ග්‍රාම නාමයන් සෑදීම පිළිබඳව තොරතුරු මෙසේය.

වළගම්බා රජතුමා හමුදාව රැඳවූ ප්‍රදේශය බටේපොල නම් විය. හමුදාවට යෞවන පිරිස් බඳවාගත් ප්‍රදේශය යොනුගම්මුල්ල වූ බවත්, පසුව එය යොන්ගම්මුල්ල ලෙසින් භාවිතයට එක් විය. මුර භටයන්ට බත් සැපයූ ප්‍රදේශය අමුණුකුඹුර නම් විය.

වළගම්බා රජතුමාට අවි ආයුධ තැනූ ගම කිණිහිරගම නම් විය. පසුව එය කිණිගම වූ බව කියැවේ. රජතුමාට බත් සැපයූ ප්‍රදේශය බත්පිටිය නම් විය. පසුව එම ප්‍රදේශය බුත්පිටිය ලෙසින් ජන ව්‍යවහාරයට එක් විය. රජතුමාගේ මාලිගාව පිහිටි ප්‍රදේශය මාලිගාතැන්න නම් විය. මල්වතුහිරිපිටිය නම් වූයේ රජතුමාගේ මල්වත්ත පිහිටි ප්‍රදේශයයි. රජතුමාගේ උයන පිහිටියේ උයන්බොඩයි. කෙසේ වුවද මේ ගම්මාන සියල්ලම පිළිකුත්තුව අවට පිහිටියා වූ ගම්මාන වෙයි.

මීට අමතරව ගම්මාන කීපයකට ඒ නම් ලැබීමට හේතු වූ බව කිය‍ැවෙන තවත් ජනප්‍රවාද දෙකක් ඇත. එක් ජනප්‍රවාදයක් පෘතුග්‍රීසි පාලන සමය හා බැ‍ඳේ. අනෙක දළදා සමිඳුන් හා සම්බන්ධ වූවකි. පිළිකුත්තුව අවට පිහිටි හේවාකන්දට ඒ නම ලැබීමට ‍හේතු වී ඇත්තේ පෘතුගීසි පාලන සමයේ වූ කතාවකි. පෘතුගීසි පාලන කාලයේ දී සැඟවී සිටි ප්‍රභූවරයෙකු අල්ලා ගැනීමට පැමිණි හේවායින් පිරිසක් මෙම ප්‍රදේශයේ කන්දක සැඟවී සිට ඇත. එම හේවායින් සැඟවී සිටි ප්‍රදේශය හේවාකන්ද යැයි නම් ලැබීය. තමන්ට ඔත්තු සපයමින් උදව් නොකිරීම හේතුකොට ගෙන ගම්මානයක් ගිනිතබා විනාශ කිරීමට පෘතුගීසීහු ක්‍රියා කළහ. එසේ ගිනි තැබූ ගම ගිණිගම වී, පසුව කිණිගම නමින් ව්‍යවහාරයට එක් වූ බව කියැවේ.

පස්ගම්මන, මල්වතුහිරිපිටිය, මාලිගාතැන්න යන ගම්මානවලට ඒ නම් ලැබීමට හේතු වූයේ දළදා සමිඳුන්ට ආරක්ෂාව සැපයීම නිසා යැයිද කියැවේ. පරසතුරන්ගෙන් දළදා සමිඳුන් රැක ගැනීම සඳහා කාලයක් මෙම ප්‍රදේශයේ දළදාව සඟවා තැබූ බව කියයි.

දළදා සමිඳුන්ට වැඩ සිටීමට තාවකාලිකව මාලිගාවක් සාදා ඇත. එම මාලිගාවේ සෑදීමට පස් ගත් ගම්මානය පස්ගම්මන නම් විය. කඳු මුදුනක දළදා මාලිගාව කරවූ අතර එම ප්‍රදේශය මාලිගාතැන්න නම් විය. දළදා හිමියන්ට පූජෝපහාර දැක්වීමට මල් සැපයූ ගම, මල්වතුපිහිටිගම නම් විය. කල්යත්ම ජන ව්‍යවහාරයට අනුව එය මල්වතුහිරිපිටිය නමින් වෙනස් විය.

සටහන හා සිතුවම:
ආර්.ඒ. නයනානන්ද
ලක්ෂ්මී පාර ගම්පහ

Source : Silumina