මත්ද්‍රව්‍ය මාෆියාවෙන් එල්ල වන මරණ තර්ජන

0
591

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉකුත්දා එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණේය. ඔහු එමගින් කියා සිටියේ ඉකුත් පාර්ලිමේන්තුවට පත්වී සිටි මැති ඇමැතිවරුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විසිපස් දෙනෙකු පමණ සිටි බවයි.
එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් අයත් වූයේ කුමන දේශපාලන පක්ෂයකටදැයි වෛද්‍ය සමරසිංහ මහතා විසින් හෙළි නොකළේය. එහෙත් එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඔහුට මරණීය තර්ජන එල්ල කරමින් නාඳුනන පුද්ගලයන්ගෙන් වරින්වර දුරකථන ඇමතුම් ලැබෙන්නට වීමයි.
සාමාන්‍යයෙන් මෙවැනි මරණීය තර්ජන එල්ලවන ඕනෑම කෙනෙකු කරන්නේ ඒ පිළිබඳව නොපමාව ‍පොලීසිය වෙත දැනුම්දීමයි. ඒ අනුව ඔහුද තම නිවස පිහිටි ප්‍රදේශය භාර ‍පොලීසිය වෙත පැමිණිලි කර ඇතත් ඒ පිළිබඳව විධිමත් ආරක්ෂාවක් තමන්ට ලැබි නැති බව හෙතෙම මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. දිනපතාම පාහේ තමන්ට ලැබෙන මෙවැනි තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලට අමතරව අවස්ථා දෙකකදී නාඳුනන පුද්ගලයෙකු රාගම පිහිටි තම නිවසට පැමිණ තමන් මරා දමන බවට තර්ජනය කර තිබෙන බවද හෙතෙම ‍පොලීසියට පැමිණිලි කර තිබේ.
එහෙත් ඒ පිළිබඳව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ‍පොලීසියට නොහැකිවී ඇත.
සමරසිංහ මහතා තමන්ට සිදුවන මෙම අතවරය පිළිබඳව ‍පොලිස්පතිවරයා පවා දැනුවත් කර ඇතත් ඔහු බලා‍පොරොත්තු වන අන්දමේ ‍පොලිස් ආරක්ෂාවක් මේ දක්වාම නොලැබිම කනගාටුවට කරුණකි. ඒ වෙනුවට ඔහුට ලබාදීමට නිර්දේශ වී ඇත්තේ පිස්තෝලයක් පමණි.
අනෙක් අතට වෛද්‍ය නිලංග සමරසිංහ මහතා නාඳුනන පුද්ගලයන් පිරිසකගේ මෙවැනි මරණීය තර්ජනයකට ලක්වී ඇත්තේ පෞද්ගලික මතභේදයක් හෝ ගැටුමක් සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන නොවේ. ඒ සඳහා මුල්වී ඇති එක් හේතුවක් වන්නේ ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමැතිවරුන් අතරින් විසිපස් දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට ඔහු විසින් කර ඇතැයි කියන ප්‍රකාශයයි. ඊට අමතරව ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යේජනා ලබාදීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු තම පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොකරන ලෙස මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු සියලු පක්ෂ නායකයින්ගෙන් ඔහු ඉල්ලීමක් කර තිබුණේය.
තමන්ට මෙලෙස මරණීය තර්ජන ලැබෙන්නට පටන් ගත්තේ ඉන් පසුව යැයි අන්තරායකර   ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. සැබවින්ම මෙය බරපතළ සිද්ධියකි. එසේ වන්නේ ඔහුගේ එම ප්‍රකාශය නිසා තමන්ගේ ඉදිරි පැවැත්මට හානියක් සිදුවී යැයි සිතන පුද්ගලයකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් වෛද්‍ය සමරසිංහ මහතාට මෙම මරණීය තර්ජන එල්ල කෙරෙන බවක් බැලූ බැල්මටම පෙනීයන බැවිනි.
අබ කෑ මිනිසාගේ මොළේ දනවා යැයි සිංහල ජන වහරේ ප්‍රකට කියමනක් තිබේ. ඒ අනුව සමරසිංහ මහතාට මෙලෙස මරණීය තර්ජන එල්ල කර ඔහු නිහඬ කරවීමට තැත් කරනු ලබන්නේ වෛද්‍ය සමරසිංහ මහතා සඳහන් කළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ කටු ලෙවකන අතවැසියන් පිරිසක් විය හැකිය. ඔවුන්ට එම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් කළු සල්ලි බිලියන හා ට්‍රිලියන ගණනින් තිබෙන්නට පුළුවන. එහෙත් ඔහුන් සතු එම කළු සල්ලි යොදවා මිනිසුන් මැරීමට හෝ මරණ තර්ජන එල්ල කර ඔවුන්ගේ කටවල් වැසීමට තැත් කරන්නේ නම් එවැනි ම්‍ලේච්ඡ උත්සාහයන් උපන් තැනම ලොප් කළ යුතුය.
එසේම මෙවැනි දෑ සුළුකොට තැකීමද සුදුසු නොවේ. අප එසේ කියන්නේ මීට පෙරද විවිධ පුද්ගලයන් හට නාඳුනන පිරිස් වෙතින් එල්ල වූ මරණීය තර්ජන සැබෑ වූ අවස්ථා ගණනාවක්ම අසන්නට ලැබෙන බැවිනි.
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම එයින් එක් සිද්ධියකි. ඊට අමතරව මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරීවරයාවූ ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීමද එවන් තවත් සිද්ධියකි. එම සිදුවීම් දෙකේදීම ඊට පෙර ලැබි ඇතැයි කියන නිර්නාමික තර්ජන පිළිබඳව අදාළ පුද්ගලයන් හෝ ‍පොලීසිය සැලකිලිමත් වූවා නම් එම අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගත හැකිව තිබිණි.
එම පූර්ව සිදුවීම් අනුව සිතා බැලීමේදී වෛද්‍ය සමරසිංහ මහතා මුහුණ පා සිටින්නේද බරපතළ අවදානමකටය. එහිදී ‍පොලීසිය ඇතුළු බලධාරීන්ගේ වගකීම විය යුත්තේ සිද්ධිය පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් යුතුව විමසා බැලීමයි. එසේ නොමැතිව සමරසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා පිස්තෝලයක් සැපයීම හෝ ඔහුගේ නිවසට ‍පොලිස් ‍පොතක් ලබාදීම ප්‍රශ්නයට පිළියමක් නොවන බවද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එසේ නොවුණහොත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාටද සිදුවන්නේ තම පණ රැක ගැනීම සඳහා විදෙස් ගතවීමටය. එහෙත් වත්මන් යහපාලන ආණ්ඩුවක් යටතේ එවැන්නක්ද කිසිසේත්ම සිදුනොවිය යුත්තකි.

Source : Lakbima