එල්ලාවල මේධානන්ද හිමියෝ පක්ෂ දේශපාලනයට සමු දෙති

0
530

පුරා දස වසරක් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පක්ෂ දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවට යාමෙන් තමන් වහන්සේට රටේ තිබූ ගෞරවයෙන් හරි අඩක්ම අඩුවූ බවත්, තව දුරටත් පක්ෂ දේශපාලනයේ යෙදී මඩ තවරා ගැනීමට අවශ්‍ය නොවන බවත් මේධානන්ද හිමියෝ පවසති.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි කිසිම වරප්‍රසාදයක් මම අරන් නෑ.
දේශපාලනයේ නියැලී කොළඹින් මාලිගා හැදුවේවත්, ඉඩම් ගත්තේවත් නෑ. අඩුම තරමින් නීත්‍යානුකූලව හිමි වාහන බලපත්‍රයවත් මම ගත්තේ නෑ. අඩුම තරමින් මගේ පන්සලටවත් ආණ්ඩුවෙන් යමක් මම අරන් නෑ. මන්ත්‍රී දීමනාව පවා මම වැය කළේ අසරණ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්නයි. පන්ස‍ලේ ඉඩමේ පාසලක් හදල මම පළාත් සභාවට පැවරුවා.  දේශපාලකයන්ගේ පිටින් පෙනෙන ආකල්ප අභ්‍යන්තරයේ නෑ. ඒ බව මම හොඳට තේරුම් ගත්තා.
1955 ඉඳල මම දේශපාලනයේ නියැලුනා. බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිප පිහිටුවීමෙන් පසු එහි සාමාජිකත්වය පවා මම ගත්තා.  ජාතික හෙළ උරුමය පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුවට තරග කිරීම භික්ෂුන් නුසුදුසු බව මම රැස්වීම්  හයකදී ප්‍රතික්ෂේප කළා. 7 වෙනි වර සාකච්ඡාවේදී තමයි බලවත් ඉල්ලීම් නිසා මා කැමැත්ත පළ කළේ. ඒත් අද හෙළ උරුමය තෝරාගෙන ඇති ගමන් මග ගැන නම් අතිශය කණගාටුවක් ඇතිවෙනවා යැයිද මේධානන්ද හිමියෝ ‘ලක්බිම’ට පැවසූහ.

Source : Lakbima Online Edition