ග්‍රහ අපල සහ යක්ෂ ප්‍රේත උපද්‍රවවලින් මිදෙන්නට නියම ක්‍රමවේදයක්

0
1076

– ජ්‍යොතිෂවේදී  ආයුර්වේද වෛද්‍ය අනෝමා පී. ඈපා සෙනෙවිරත්න

සෙනසුරු මාරුවක් යනු සුනාමියක්, භූමිකම්පාවක් කඩාපාත්වනවාටත් වඩා විනාශකාරී එකක් ලෙස ඇතැම් බඩගෝස්තරවාදීජ්‍යොතිෂකරුවන් විසින් කල්තියාම සමාජගත කරනු ලබති. කුමන ලග්නයකින් උපත ලබා තිබුණේද ශනි මහා දශාවක් අතුරු දශාවක්  තවත් වසර 10-12ක් වත් නොලැබුවද සියලු මනුෂ්‍යයන් ශනි මාරුවේ රුදුරු ගොදුරු වන බවය මේ පිරිස විසින් අඟවන්නේ. මේ අපූරු නැකැත්කරුවෝ සෙනසුරු මාරුව නිසා මිනිසාට සිදුවන භයානක උවදුරුවලින් බේරීම සඳහා එදිනට කළයුතු පුද පූජා නියම කරති. දිනය, පූජා භාණ්ඩ, කළ යුතු ආකාරය, දැල්විය යුතු පහන්, ගතයුතු තෙල් කියවිය යුතු කවි, ශ්ලෝක ආදී සියල්ල මේ අය තම තමන් පෙනී සිටින මාධ්‍ය තුළින් එළිදක්වති. ඒ සෙනසුරු අපලය දුරු කිරීමේ ක්‍රම සහ විධි දන්නා ඉසිවරයා තමන් බව ජනතාවට ඒත්තු ගැන්වෙන පරිදිය.මෙය අසා සිටින හෝ කියවන කාන්තාවෝ නැතිනම් තම මිතුරියකගෙන් අසා දැනගත් කාන්තාවෝ නියමිත දින ඇදුරා පැවැසූ ආකාරයටම පූජාව තබති, පුදති, වඳිති, ගයති. මෙයට සහභාගි වෙමින් බලා සිටින බාල දරුවෝ සෙනසුරා යනු තමන් බිලි ගැනීමට පැමිණෙන යක්ෂයෙකැයි සිතා ඒ බිය මනසේ තැන්පත් කර ගනිති. මේ අනියත බිය දරුවන්ගේ මනස විනාශ කර දමන බව අම්මලා නොදනිති.
අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවූ දා පටන්ම සෙනසුරු එහි සිටිති. ‍ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව එය දළ වශයෙන් වසර 2 1/2කට පමණ වරක් රාශියෙන් රාශියට ගමන් කරයි. එක රාශියකින් පිටමන් වූ කල යළි එම රාශියට එන්නේ (වක්‍ර ගමනින් කෙටි කලකට යළි පැමිණීම හැර) දළ වශයෙන් වසර 30ට පමණ පසුවය. මෙය ළඟකදී සොයා ගත් දෙයක් නොවේ. කිසිවෙකුට නතර කළ හැකි වෙනස් කළ හැකි දෙයක් ද නොවේ.
ශනිගේ ගමන විශේෂයෙන් බලපාන්නේ අදාළ මහ දශා සහ අතුරු දශා ඇති අයටත් ලග්න චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක බලපාන අයටත්ය. ඒ ඒ රාශියට සෙනසුරුගේ ඇති බලය හා කේන්ද්‍රයේ ශනි පිහිටා ඇති ආකාරයට අනුරූපවය.
එනිසා සෙනසුරු මාරුවක් යි කියමින් ඊනියා ‍ජ්‍යෙතිෂ මාර්තණ්ඩලා ගහන පදයට ඔබ ඩෙගා නැටිය යුතු නැත. සෙනසුරු හෝ වෙනත් යම් ග්‍රහ මාරුවක් ඔබට කෙසේදැයි දැන ගැනීමට අවශ්‍යම නම් පමණක් ඔබගේ ‍ජ්‍යොතිෂවේදියා හමුවීම සුදුසුය. ඔහු උගත් බුද්ධිමත් අයෙකු නම් කාරුණිකව ඔබට ඇති තතු පහදා දෙනවා ඇත. ‍ජ්‍යොතිෂ ප්‍රතිරූපකයෙකු නම් ඔබේ මුදල් පසුම්බියත් මනසත් කාබාසිනියා කරනවා ඇත.
කුමන ග්‍රහයෙකු කුමන ආකාරයකට රාශි මාරු කළත් එය ස්වාභාවික සංසිද්ධියකි. ඊනියා ‍ජ්‍යොතිෂ මාර්තාණ්ඩල හා එක්වී ඔබ පහන් පත්තු කළත් නැතත් පුද පූජා තැබුවත් නැතත් ශ්ලෝක කවි ගායනා කළත් නැතත් ග්‍රහයෙකුගේ පල විපාක අඩුවැඩි වන්නේ නැත. එය තම තමා පෙර සසරේ ගත කළ මේ භවයේදී ගතකරන ධාර්මික හෝ අධාර්මික දිවි පවෛතට අනුවට අඩු වැඩි වන දෙයකි.අද ලංකාවේ බෞද්ධයා බිය ගන්වන අනෙක් කණ්ඩායම නම දෙවියන්ගේ නම විකුණන්නන්ය කපුවන්ම පවසන පරිදි දෙවියන්ටද කපුවන්ටද ඇත්තේ පුදුම බලයකි. ඔවුනට නොකළ හැකි දෙයක් නැත. මුදල් සමග කැවිලි පලතුරු වට්ටියක් පුදදුන් පසු කපුවා කියන ඕනෑම දෙයක් දෙවියා කරන බව කපුවා පෙන්වා දෙන අදහසයි.
දෙවියන්ගේ ඇති අනෙක් විශේෂත්වය ලෙස කපුවන් පෙන්වා දෙන්නේ කෝප වීමයි, බාරවී ඒවා ඔප්පු නොකිරීම මොවුන්ගේ කෝපයට හේතුවය. ඒ අනුව වර්තමානයේ නම් දෙවියන් සිටින්නේ නිතරම කෝපයෙනි. ඒ දෙවියන්ට බාරවන තරමට ඔප්පු නොකරන බැවිනි.
ඔබ දෙවියන්ට බිය විය යුතු නැත. මක්නිසාද එකම දේවාලයකවත් දෙවියන් නැති නිසාය.
ඔබ ආගමානුකූල දිවියක් ගෙවන්නේ නම් නිරායාසයෙන්ම දෙවියෝ ඔබට පිහිට වෙති. ඒ දෙවි දේවතාවෝ ඔබේ ගමේ පන්සල ආශ්‍රිතව සිටිති. ඔවුන් වෙනුවෙන් තැනූ රූප නැත. කුටි නැත. ඒ දෙවියන්ද ආයුෂ ගෙවී චුතව යන බැවිනි. දෙවියන්ද සදාකාලික සත්ත්ව කොට්ටාසයක් නොවන බැවිනි. චුත වූ පසු ඒ  දෙවියාට ඇති බලයක්ද නැත. සිටින දෙවියන් චුතවීමත් වෙනත් දෙවිවරුන් පහළ වීමත් සාමාන්‍ය සංසිද්ධියකි. සදාකාලික දෙවියෙක් නැති කල දේව රූපයක් තිබිය හැකිද?
සැබෑම දෙවියන්ට මිනිස් ආවතේවකරුවන් (කපුවන් දේවගැතියන් පූසාරියන් ආදී වශයෙන්) නැත. ඒ දෙවියන් අල්ලස් (පුද පූජා) නොගනී. ඒ දෙවියන් කෝප නොවේ. ඔබ නිවැරදි තාක්කල් ඒ දෙවියෝ ඔබ සමග සිටිති. ඔබ පාපයෙහි යෙදෙන කළ ඔබ හැර යති.
දේවාල තුළ වසන දෙවියන්ට අද තම පින් කැටයවත් දේවාලය සතු බඩු භාණ්ඩවත් ආරක්ෂා කර ගැනීමට නොහැකිය. දේව නියෝජිතයින්ගෙන් වැඩි කොටසක් (කපුවන් දේව ගැතියන් ආදීන්) වංචාකාරයෝය, ස්ත්‍රී දූෂකයෝය. මේ සම්බන්ධ තොරතුරු පුවත්පත්වල ඕනෑ තරම් පළවේ. එසේම මෙම දේව ආවතේවකරුවන්ගෙන් අති බහුතරය තම ජීවිතයේ අවසාන කාලය සිහිමද ගතියකින්ද සුව නොවන තුවාල සහිතවද ගත කරන බව ඔබ දන්නෙහිද?
ලංකාවේ බෞද්ධයන් පෙළනු ලබන තුන්වන බිය නම් යක් භූ පිසස් ආදී අමනුෂ්‍යයින්ට ඇති බියය. මෙය එසේ මෙසේ බියක් නම් නොවේ. ගම්මාන පිටින්ම මේ උවදුරට බිය වන අවස්ථා ගැන පුවත්පත්හි වරින් වරපළවනු පෙනේ.
අමනුෂ්‍යයෝ සිටිති. එය ඉරහඳ තිබෙනවා මෙන් සත්‍යයකි. නවීන විද්‍යාවට තවමත් හසුව නැති දෙයක් එසේ හසුනොවූ පමණින්ම නැතැයි කීම මුලාවකි. මෙයට සියවස් දෙක තුනකට පෙර ලෝකයේ ඇතැයි සිහිනෙන්වත් නොසිතූ ගුවන් විදුලි තරංග රූපවාහිනී තරංග ආදී විවිධ විද්‍යුත් තරංග විද්‍යාවේ ග්‍රහණයට අසුවීම නිසාම තිබෙන දේ ඔබ පිළිගැනීමට සිදුව ඇත. එබැවින් විදු ඇසට තවමත් නොපෙනුණු පමණින් යමක් ඇතැයි කීම විද්‍යාව නොව අවිද්‍යාවයි. නවීන විද්‍යාව මේ වන විට ලෝකයේ ඇති තතු සියල්ල සොයාගෙන හමාරය. තවත් සොයා ගැනීමට යමක් නැත යැයි සිතීම කොතරම් මුලාවක්ද?
අවිද්‍යාව යක් භූ පිසස් දේව ආදීන් ඇතැයි කීම නොව මිනිසුන්ට පීඩා කිරීමට එම අදෘශ්‍යමාන ජීවින්ට හැකිය කීමය. එම අදහස පරිපූර්ණ මිථ්‍යාවකි. මිනිසුන්ගේ ශරීරයට මේ ජීවින් රිංගා ගන්නා බව ඇදහීම ඊටත් වඩා මිථ්‍යාවකි.මෙම සත්වයින්ට මිනිසුන් හමුවේ පෙනී සිටීමටත් විවිධ සද්ද බද්ද කිරීමටත් හැකිය. ඒවාට බිය වන මිනිසා අමනුෂ්‍යයාට ඇති බලයක් නිසා නොව අධික බිය නිසාම විපතට පත්වේ. එයයි සත්‍යය. මේ ගැන කියැවෙන අපූරු සත්‍ය සිදුවීම් දෙකක් මම දනිමි.
මෙරට කීර්තිමත් කාන්තාවක් කලකට ඉහත ඇගේ රාජකාරියට අදාළ ක්‍ෂේත්‍ර චාරිකාවක ගියාය. අභය භූමියකට අයත් වනගත නවාතැන් ‍පොළක ඇයට රාත්‍රිය ගත කිරීමට සිදුවිය. තමාට ලැබුණු කාමරයේ දොරගුළුලා නිදා ගත් ඇයගේ දෙපා මතට හදිසියේම සතෙක් පැන්නේය. ශරීරය දිගේ පැන පැන ඉහළට ආ සතා ඇගේ බෙල්ල මිරිකා ඉවතට පැන්නේය. සතා ඇගේ ශරීරය මත සිටිනතුරු ඇයට අත් පා සෙලවීමට හෝ කතා කිරීමට නොහැකි විය. සතා බිමට පැනගත් පසු තමා ළඟ තිබූ කුඩා විදුලි පන්දම ගෙන අල්ලා බැලුවාය. රතු පාට ඇස් ඇති දිග ලෝම ඇති වලස් පැටියෙකු තරමේ සතෙක් බියකරු ලෙස තමා දෙසබලා සිටිනු ඇය දුටුවාය. ඇය කාමරයෙන් පිට නිදා හුන් අයද අවදි කරවා ගෙන සතා සෙවූ නමුත් හමු නොවීය. පසුදා උදේ ඇය මේ සිදුවීම ආයතන පාලකට දැනුම් දුනි.ඇයට ලබා දී තිබූ කාමරය කලකට ඉහත රාත්‍රී කාලයක කෙනෙකු ගෙල වැළලා ගෙන මිය ගිය එක්ක බවත් එදා පටන් එම වේලාවට එම ආත්මය කාමරයට එන බවත් එනිසා ඒ කාමරය කිසිවෙකුටත් රාත්‍රි කාලය සඳහා ලබා නොදෙන බවත් වැරදීමකින් මෙසේ ලබාදී ඇති බවත් පාලක තැන කීවේය.මේ කතාව ඇසීමෙන් පසුවවත් අපගේ කතා නායිකාවට කිසිදු පීඩාවක් ඇති නොවීය. ඒ මළගිය ප්‍රාණකාරයින්ට බලයක් තිබෙන බව ඇය කිසිසේත්ම විශ්වාස නොකළ නිසාය.අනෙක් සත්‍ය සිදුවීම මෙසේය.
සිරිසේන නම් තරුණයෙක් නිවසේ තනිව සිටින මව දැකීම සඳහා අගනුවර වැඩබිමක සිට නිවසට ආවේය. ඒ මිනිහා පෙනෙන නොපෙනෙන අඳුරු වේලාවයි. බසයෙන් බැස සැතපුම් බාගයක් පමණ එන්නට තිබෙන බැවින් අඳුරේ තනිව ආවාට මව දොස් කීවාය. මාටින් මාමාද තමා සමග පැමිණි බැවින් තනියක් නොදැනුණු බව තරුණයා කීවේය. මාටින් මළ බවත් තවමත් මල්වඩම් වියළී නොගිය සොහොන හෙට උදේට ගිහින් බලා ගන්නා ලෙසත් මව කීවාය. පැයක් පමණ ගතවත්ම සිරිසේනට උණ ගැනිණි. රාත්‍රියේම රෝහලට ගෙන යන ලදී. පසුදාට පහන් වන්නට පෙර ඔහු මළේය.
ඇඟට පැන්න යකාටවත් බයනැති නැණවත් කාන්තාව බිය නොවූ අතර පාරේ ගිය යකෙකු ඇඟට (මනසට) දාගෙන මේ මනසින් දුබල තැනැත්තා අකාලයේ මිය ගියේය.මේ යක්ෂ ප්‍රේත භූත පිශාචාදීන්ගේ ඉතාම නිවැරදි ස්වභාවයයි. අපට සියලුම විපත් ගෙන දෙන්නේ අප තුළ තිබෙන අවිචාරශීලී අසීමිත බිය මිස වෙන කිසිවෙක් නොවේ. යකුන්ට කළ හැකි කිසිවක් නොමැත.ඔබේ නිවසට හෝ ඔබට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතේ නම් පළමුව පින්කමක් කර මළගිය අයට පින් දෙන්න. දෙවැනිව මහ පිරිත හෝ වරු පිරිතක් භික්ෂූන්වහන්සේ ලවා කියවන්න. ඉන්පසු වරින් වර නිතර සතුටු සිනා ඇති නෑ මිතුරන් කීපදෙනෙකු කැඳවා මස් මාංස සහ සුරාවෙන් තොර ප්‍රීති සාද පවත්වන්න. නිවසේ සහ අවට පිරිසිදු බව දැඩිව ආරක්ෂා කර ගන්න.
මේ ක්‍රියා පිළිවෙත තුළ අමනුෂ්‍යයා ඉවත නොගියේ නම් රජයේ රෝහලක පළපුරුදු මනෝ වෛද්‍යවරයෙකු හමු විය යුතුය. යකුන් එළවන වර්තමාන යකැදුරා ඔහුය. ඈත අතීතයේ එය කළේ යන්ත්‍ර මන්ත්‍ර ජප කරන කට්ට¾ඩියාය. මේ කාලයේ මොවුන් කරන්නේ මන්ත්‍ර ජප කරන අතරේ ස්ත්‍රීන් දූෂණය කිරීමය. කෙසේ වෙතත් ඉතා දියුණු මනෝ වෛද්‍ය විද්‍යාවක් අප සතුව තිබිය දී යල් පැන ගිය, කෑලි හැලුණු මනෝ විද්‍යාව (යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්) අප භාවිත කළ යුතු නැත.ග්‍රහයින්, දෙවියන්, යකුන් විකුණා ගෙන කන බඩ ජහරීන්ට තමාගේ හදවතේ අසුන් ගැනීමට ඉඩ නොදීමට ඔබ විචාරශීලී සහ බුද්ධිමත් විය යුතුය.නැතිනම් දිනෙන් දින ඉදිරියට යන ලෝකයේ සිංහල බෞද්ධයා පසුගාමී චරිතයක් වනවා ඇත. ලෝකයේ උගතුන්ට බුද්ධිමතුන්ට විෂය වන සුවිශේෂී බුද්ධ දර්ශනයට හිමිකරුවන්ව හිඳිමින් ආපස්සට ගමන් කිරීම දේවදත්ත පරපුරේ අයගේ ක්‍රියාවක් බව සිහි කටයුතුය.

Source: Lakbima Online Edition