මහින්ද විරෝධීහු 20 ක්‌ මෛත්‍රී අතහැර එජාපයට

0
497

අකිත පෙරේරා සහ සිරිමන්ත රත්නසේකර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට දැඩි ලෙස විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවාදී විස්‌සක්‌ පමණ මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මොවුන් සියලු දෙනාම ලබන 14 වැනිදා මහනුවරින් ආරම්භ කරන එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ මැතිවරණ මංගල රැලියට සහභාගිවීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිසයෙන් අපේක්‍ෂකත්වය ලබාදෙන්නේ නම් තමන්ට තීරණාත්මක දේශපාලන තීන්දුවක්‌ ගැනීමට සිදුවන බව මෙම පිරිස මීට පෙර ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඔවුන් විශේෂ සාකච්ඡා වට ගණනාවක්‌ම පවත්වා තිබිණි.

මෙම මහින්ද විරෝධීන් එජාපයට පැමිණෙන්නේ නම් ඔවුන් පිළිගැනීමට එජාප නායකත්වය ද ඉතා කැමැත්තෙන් පසුවන අතර ඒ සඳහා විවිධ මට්‌ටමින් සාකච්ඡා ද සිදුකෙරිණි.

මහින්ද විරෝධී පිරිස නියෝජනය කරනු ලබන දිස්‌ත්‍රික්‌කයන්aහි එජාප නාමයෝජනා අවසන් නොකොට තබා ගැනීමට ද එජාපය කටයුතු කර තිබූ අතර මෙම පිරිස 20 දෙනකු වෙතැයි එජාපය ඊයේ (10 දා) සවස්‌ වන විට ගණන් බලා තිබිණි.

එහෙත් ඊට වඩා වැඩි පිරිසක්‌ එජාපය සමඟ එක්‌වෙනු ඇති බවට එම පක්‍ෂය බලාපොරොත්තු තබා සිට ඇති අතර ඒ පිළිබඳව ඊයේ සවස්‌ වන තුරුම ප්‍රසිද්ධියට පත් නොකරන ලදී.

Source: Divaina Online Edition