දෙස්‌ විදෙස්‌ පතළ මහැදුරු ආනන්ද ගුරුගේ

0
1134

Amanda W P Gurugeජාත්‍යන්තර කීර්තියට පත් ලේඛකයකු, උසස්‌ රාජ්‍ය තාන්ත්‍රිකයකු, භාෂාන්තර විශාරද කථිකයකු ජාතික හා ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරියකු වූ ආනන්ද ඩබ්. පී. ගුරුගේ මහතා මෙම අගෝස්‌තු මස 07 වැනි දින අභාවප්‍රාප්ත විය.

1928 දෙසැම්බර් 28 වැනි දින දකුණු සිරිලක බද්දේගම අකුරටියේදී ජන්ම ලාභය ලැබූ වැඩිහේන පල්ලියගුරුගේ ආනන්ද නම් වූ මේ පින්වත් කුමරු උපතේ පටන්ම දස්‌කම් විස්‌කම් දැක්‌වීය. තැපැල් ස්‌ථානාධිපතිවරයකු වූ පියා ස්‌ථාන මාරුවක්‌ ලැබ මහනුවරට යැමෙන් පසු මහනුවර කටුකැලේ බාලක විදුහලෙන් සහ අම්පිටිය ඉංග්‍රීසි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා ධර්මරාජ මහා විද්‍යාලයට ඇතුළත් වූයේය. පන්සල ආශ්‍රිතව මූලික අධ්‍යාපනය ලැබීම නිසා පාලි සංස්‌කෘත පිළිබඳ ප්‍රමාණවත් දැනුමක්‌ ඇතිව සිටි ආනන්ද ගුරුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉහළින් සමත්ව ප්‍රාචීන භාෂා ත්‍යාගයක්‌ ද ලැබ සංස්‌කෘත විශේෂවේදී පරීක්‍ෂණයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක්‌ ලැබීය. අනතුරුව රාමායන සමාජය පිළිබඳව යන නිබන්ධනය ඉදිරිපත් කොට ඉතා ලාබාල වියේදීම ආචාර්ය උපාධියටද හිමිකම් කීවේ එවක සිටි ලාබාලතම ආචාර්ය උපාධිධාරියා ලෙසිනි. එවක පැවති සිවිල් සේවා විභාගයෙන් සමත්ව ප්‍රදේශ කීපයකම පරිපාලන තනතුරු දැරූ එතුමා කොතලාවල හා බණ්‌ඩාරනායක රජයේ අගමැති කාර්යාලයේ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. 1954 වසරේ ඇරඹූ 2500 බුද්ධ ජයන්ති උත්සව කමිටුවේ ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් එතුමා විශාල කාර්යභාරයක්‌ කළ අතර සිංහල විශ්වකෝෂය, බෞද්ධ විශ්ව කෝෂය වැනි ශාස්‌ත්‍රීය කටයුතු ඇරඹීමට ද මුල් විය. බණ්‌ඩාරනායක රජය යටතේ එතුමන් අතින් සිදු වූ සුවිශේෂ කටයුත්ත වූයේ පිරිවෙන් විශ්වවිද්‍යාල ඇති කිරීමේ දී සිදු කළ මෙහෙයයි. විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උපකුලපති ධුරන්ධර සර්වභෞම පණ්‌ඩිත වැලිවිටියේ සෝරත මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පාලක සහායක ලෙසත් සංස්‌කෘත මහාචාර්ය ලෙසත් කටයුතු කරමින් විශ්වවිද්‍යාලයක්‌ ලෙස ශක්‌තිමත් අත්තිවාරමක්‌ සපයමින් විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය පිණිස මුල්ගල් තබමින් එතුමන් සිදුකළ අපරිමිත සේවය සදානුස්‌මරණීය වෙයි.

සිවිල් සේවා නිලධාරියකු ලෙස දශක එකහමාරක්‌ පමණ කටයුතු කළ එතුමා අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ජාත්‍යන්තර සිවිල් සේවයට ඇතුළත් වෙමින් ප්‍රංශයේ යුනෙස්‌කෝ කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙසත් පසුව ප්‍රංශයේ තානාපති ලෙසත් ඇමරිකා එක්‌සත් ජනපදයේ තානාපති ලෙසත් වසර 17 ක්‌ කටයුතු කර විශ්‍රාම ලැබ යුනෙස්‌කෝවේ උපදේශකයකු ලෙසද කලක්‌ සේවය කරමින් විශිෂ්ට සේවයක්‌ සලසමින් එහි විවිධ තනතුරු හොබවමින් මවුබිමට මහත් ගෞරවයක්‌ ලබා දුනි.

සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්‌කෘත, ප්‍රංශ, ජර්මන් ආදී භාෂා රැසක විශාරදයකු වන එතුමා සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ ආදී භාෂා චතුර ලෙස හැසිරවිය හැකි කථිකයකු වූයේය. වැඩි කලක්‌ රාජකාරි කටයුතු කළ ප්‍රංශයේ තානාපති ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයක්‌ වූ එතුමා උත්සව අවස්‌ථාවන්හි ඒ හැමගේ කථික නියෝජිතයා වූයේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ යෙදී සිටියදීත් ජාත්‍යන්තර සිවිල් සේවයේ යෙදී සිටියදීත් සහජ ලේඛන කෞශල්‍ය මොනවට විදහා පාමින් ඉංගී්‍රසි සිංහල දෙබසින් ග්‍රන්ථ 50 කට වඩා රචනා කර ඇත. ධර්මපාල ප්‍රතිරාව නමින් අනගාරික ධර්මපාල චරිතය පිළිබඳ ප්‍රාමාණික පර්යේෂකයකු ලෙස පිළිගැනෙන එතුමා ධර්මපාලතුමාගේ 150 වන ජන්ම ශත සංවත්සරය යෙදෙන සැප්. 20 වන දා ලන්ඩනයේ දී පැවැත්වෙන උත්සවයට ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගි වීමට නියමිතව සිටියේය.

මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන්ගෙන් පසු ලෝක බෞද්ධ ව්‍යාපාර සියල්ලේම පතාක යෝධයකු බවට පත් වෙමින් කටයුතු කළ එතුමා ආරාධිත මහාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල කිහිපයකම කටයුතු කළ අතර ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විෂයේ ආචාර්ය උපාධි බොහොමයක බාහිර පරීක්‍ෂකයකු ලෙස කටයුතු කළේය.

විශ්‍රාම ලැබීමෙන් පසුව කැලිෙµdaනියාවේ ලොස්‌ ඇන්ජලීස්‌ ප්‍රදේශයේ නිත්‍ය වාසය බවට පත්වීමෙන් අනතුරුව කැලිෙµdaනියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල රැසක ආරාධිත මහාචාර්යවරයකු ලෙස කටයුතු කළා පමණක්‌ නොව 1976 දී ලොස්‌ ඇන්ජලීස්‌හි පිහිටවූ ඹබසඩැරිසඑහ දෙ උesඑ විශ්වවිද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙසත් ප්‍රථම බෞද්ධ පීඨාධිපති ලෙසත් විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකළේය. මහා වංශයේ නූතන පරිවර්තනය ඇතුළු ශාස්‌ත්‍රීය ග්‍රන්ථ මෙන්ම ඉංග්‍රීසි නවකතා කිහිපයක්‌ද තම ළමා කාලය අලලා රචිත මා වැනි බිලිsන්දා (පද්‍ය) දඹදිව බෞද්ධ කලා, ධර්මපාල ලිපි එකතුව ආදී ග්‍රන්ථ රැසක්‌ එතුමා අතින් පළ වී ඇත. ජාතික හා ජාත්‍යන්තර තලයේ විද්වද් ජන ප්‍රසාදයට පත්ව ඇති එතුමා බෞද්ධ ලෝකයට, ශ්‍රී ලාංකේය සමාජයට අනුපමේය සේවයක්‌ ඉටු කළේය. එම සේවා අගයනු වස්‌ ශ්‍රී ලංකා ජන රජය විසින් කලාකීර්ති හා දේශමාන්‍ය සම්මානයෙන්ද ශ්‍රී ජයවර්ධනපුර හා රුහුණ විශ්වවිද්‍යාල මගින් ඩී.ලිට්‌ උපාධි දෙකක්‌ ද ගෞරව නාම සම්මුති රැසක්‌ සම්භාවනීය ආයතන රැසකින් ම ලැබී ඇත. ඔස්‌ටේ්‍රලියාවේ බෞද්ධ විශ්වවිද්‍යාලයක්‌ ඇරඹීමේ කටයුත්තට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී හටගත් හෘදයාබාධයකින් මෙම අගෝස්‌තු 07 වැනි දින අලුයම අභාවප්‍රාප්ත විය. එතුමාගේ අවසන් කටයුතු ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌හිදී 12 වැනි අඟහරුවාදා සිදුකිරීමට එතුමාගේ පුතණුවන් සහ මැතිනිය කටයුතු යොදා ඇත. මහ සඟරුවනට නිරතුරුව ආදර ගෞරව කළ උන්වහන්සේලා වෙත නිතර දන් පිළිගැන්වූ සැදැහැති බෞද්ධයකු වූ වැඩිහේන පල්ලිය ගුරුගේ ආනන්ද ශ්‍රීමතාණන්ට නුදුරේම නිsවන් සුව අත් වේවායි පතමු.

බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක –
ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි