කරුණාබර හැඟුම් බේරුවා මරණින්….

0
684

dogගුණවර්ධන අතුරලිය

පානදුර නගරයට පිවිසෙන ප්‍රධාන අතුරු මාර්ගයකි. වේලාව පෙරවරු 7.30 ට පමණ වූයෙන් ඉහළට හා පහළට ධාවනය වෙමින් පැවැති විවිධ වාහන ගණන ඉමහත් විය.

ඒ සුප්‍රකට විහාරස්‌ථානය අභියසදී බල්ලෙක්‌ වාහනයක හැපුණි. ඌ වේගයෙන් දඟලන්නට විය. බල්ලාට පාරෙන් ඉවතට යා ගන්නට නොහැකි බව පෙනී වාහන කිහිපයක්‌ම පාර මැද වැටී දඟලන ඌ මැදි කරගෙන ඌට හානියක්‌ නොවන සේ ඉගිල ගියේය. නමුත් ඊඟට එන වාහනයකට ඌ යටවන සෙයක්‌ දක්‌නට විය.

ඊළඟට පැමිණියේ නවීන පන්නයේ සුඛෝපභෝගී රියකි. එය පදවාගෙන ආ මහත්තයා තම වාහනය නතර කළේය. පිටුපසින් එන වාහන පෝළිමකි. එහි රියෑදුරෝ ගණනාවක්‌ම තම වාහනවල නළා නාද කරති. ඔවුන්ට ඒ තරම් හදිසිය. මහත්තයාට කිසිම හදිසියක්‌ නැත. ඔහු තම රියෙන් බැස බල්ලා වෙත ගියේය. ඌ පරීක්‍ෂා කළේය. ඌට තුවාල නැත.

”වතුර ටිකක්‌ දෙනවද?” හේ අසල කඩයකට ගොඩ වදිමින් විමසීය.

”වතුර නැහැනෙ මහත්තයො.” මුදලාලි කීවේය.

”ආ මේ තියෙන්නේ…” කියමින් ඔහු අලෙවියට තබා තිබූ වතුර බෝතලයක්‌ ගත්තේ මුදලාලිට රුපියල් සීයක්‌ද දිගු කරමිනි.

කඩිනම් ගමනින් අසරණ සතා වෙත ගිය මහත්තයා ඌට වතුර ටිකක්‌ වත් කළේය. උගේ කට අරවා වතුර ස්‌වල්පයක්‌ පෙව්වේය. දැන් පිටුපස වාහන සිය ගණනකි. ඒවා නොනවත්වාම මහ හඬින් නළා නාද කරති. මහත්තයාට කිසිම හදිසියක්‌ නැත. හේ අසරණ සතා ඔසවා පාර අයිනේ තැබුවේය. බෝතලේ ඉතිරි වතුර ස්‌වල්පයෙන් දැත සෝදාගත් මහත්තයා හිස්‌ බෝතලයද රැගෙන තම රිය වෙත ආවේය.

”මහත්තයා මේ ඉතුරු සල්ලි” කඩේ මුදලාලි කීවේය.

”ඔයා තියා ගන්න” සිනාසෙමින් කී මහත්තයා තම රියට නැග යන්නට ගියේය.

පසුපසින් දිග් ගැසුණු වාහන පෝලිමේ සිටි රියෑදුරෝ මහත්තයාට පමණක්‌ නොව මහත්තයාගේ මෑණියන්ටත් බණින්නට ඇත. ඒත් සැබෑ මහත්වරු සමාජයේ විරලය.