රට ගොඩනගන්නට විශිෂ්ටයන් සමඟ සීරුවෙන්

0
745

built-sri-lankaමාදිලි සමඟ ගොඩනැඟීම ((Design and Built))

හැත්තෑව දශකය අවසන් වන තෙක්‌ම අපේ රට සංවර්ධනය කළ හැකි හා දියුණු කළ හැකි විවිධ මාදිලි හා අර්ථ ක්‍රම ගැන සාකච්ඡා කරනු ලැබුවේ නොයෙකුත් දේශපාලන දර්ශන හා මතිමතාන්තර මත පිහිටාය. මෙහිදී සමාජවාදී මාදිලිය ඉස්‌මතු කළ සහෝදරවරුන්ට හිමිවූයේ විශේෂ තැනකි. 1965 මැතිවරණ ව්‍යාපාරයේ දී එක්‌සත් ජාතික පක්‍ෂ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමාද රැස්‌වීම් ඇමතීමට පටන් ගත්තේ “සහෝදර සහෝදරියනි” කියාය. මේ කාලයේ යුරෝපයේ, රුසියාවේ, චීනයේ හා කොරියාවේ සංවර්ධන මාදිලි ශ්‍රී ලංකාවට ආදේශ කිරීම පිළිබඳවද සාකච්ඡා හා වාද විවාද තිබුණි. අත්හදා බැලීම්ද කරනු ලැබිණි. නොයෙක්‌ මතිමතාන්තර අනුව හැඩගස්‌සවනු ලැබූ මාදිලි පිළිබඳවද ඊටත් වඩා එම මාදිලිය සාක්‍ෂාත් කරගත හැකි මාවත එනම්, පාර්ලිමේන්තු මාවතද, සන්නද්ධ අරගලයේ මාවත ද යන්න පිළිබඳව ද විවාද ඇතිවිය. අත්හදා බැලීම්ද කරනු ලැබීය. මාක්‌ස්‌ ලෙනින්වාදී දර්ශනයද, මාඕ සේතුං චින්තනයද තරුණයන් අතර ජනප්‍රිය විය. වැඩවසම් ලක්‍ෂණ බෙහෙවින් දක්‌නට ලැබුණු චීනය ධනවාදයේ අවධිය මගහැර නව ප්‍රජාතන්ත්‍රවාදය නමැති අවධියක්‌ හරහා සමාජවාදයට පිවිසෙන හැටිද ශ්‍රී ලංකාවට එම මාර්ගයේ ඇති සමීප භාවය ගැන ද සාකච්ඡා විය. චීන විප්ලවය ගත් මග මෙන්ම මාඕ සේතුං ගේ “දේශපාලන බලය වැඩෙන්නේ තුවක්‌කුවේ කඳ තුළිනි” යන කියමන ද ලංකාවට ගැලපෙන මාදිලිය ගැන කරන සාකච්ඡාවල දී සඳහන් විය.

නොයෙකුත් මාදිලි හා මතිමතාන්තර ගැන සාකච්ඡා කරනු ලැබුවේද වාද විවාද කරනු ලැබුවේද තමන් දැරූ මතය හෝ දර්ශනය වෙනුවෙන් අරගලයේ මාවතට පිවිසියේද ජීවිත පරිත්‍යාග කරනු ලැබුවේද රටත් ජනතාවත් ගැන ඒ සියලු පාර්ශවයන් තුළ තිබුණ ඕනෑකම හා කැපවීම නිසාය. ඔවුහු ස්‌වකීය දර්ශනවලට අනුව සැලසුම් කරගත් සුවිශේෂී මාදිලිවලට අනුව මාතෘභූමිය ගොඩනගන්නට අධිෂ්ඨාන කරගෙන සිටියහ. මෙය මාදිලි සැලසුම් කර ගොඩනැඟිලි තනා දෙන (desසටබ aබා ඉමසකඑ) ඉදිකිරීම් සමාගම්වල කාර්යයට සමානය. මාදිලිය සැලසුම් කර දෙනු ලබන්නේ එම මාදිලිය ගනුදෙනුකරුගේ අවශ්‍යතාවට ගැලපෙන බව පැහැදිලි කර දෙන්නේද අවශ්‍ය ඇතැම් සීරුමාරු (adවමිපැබඑs) කරනු ලබන්නේද ඉදිකිරීම් සමාගමය. නමුත් ඇත්තේ එකම මාදිලියක්‌ නම් හා එබැවින් තෝරා ගැනීමක්‌ පිළිබඳ ප්‍රශ්නය පැන නොනගින්නේ නම් කෙනෙකු ඉදිකිරීම් සමාගමකින් බලාපොරොත්තු වන්නේ කාර්යක්‍ෂම බවත්, හොර බොරු නැතිව පවරන ලද කාර්ය ඉටුකිරීමත්ය. අද රටක්‌ හැටියට අප පැමිණ ඇත්තේ එතැනටයි.

වෙළෙඳපොළ ආර්ථිකය

රුසියාව (1905-17) හා චීනය (1921-49) ඔවුන් මුහුණ පා සිටි අතිශය කටුක හා පීඩාකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට නොවැළැක්‌විය හැකි ලෙසම යොදා ගත යුතුව තිබුණ එකම මාවත, එනම් ප්‍රචණ්‌ඩ විප්ලවය ලෙස නම් ලකුණු කළ මාවත තෝරා ගත්හ. ජයග්‍රාහීව ඉහළ තත්ත්වයකට පත්ව ඒ ඉහළ තත්ත්වයේ ස්‌වරූපය විමසා බලන විට ඒ අන් කවරක්‌වත් නොව පොදුවේ ලොව පුරා දක්‌නට ලැබෙන මාදිලියම බව දශක කීපයකට පසුව ඔවුන්ට පසක්‌වී තිබේ. නිදහස ලබා වසර 67 කට පසුව දැන් අපට පෙනී යන්නේ ලොව පුරාම පිළිගැනීමට පත්ව තිබෙන්නේත් ක්‍රියාවට නැංවී තිබෙන්නේත් ඇතැම් රටවල් කෙලින්ම හා තවත් රටවල් වහෙන් ඔරෝ මාවතකින් ඇවිත් නැවතී තිබෙන්නේත් එකම මාදිලියකට බව ය. එනම් “තරගකාරී වෙළෙඳපොළ, අර්ථක්‍රමය” යන මාදිලියට බවය. තරගකාරී වෙළෙඳපොළ අර්ථක්‍රමයට ආවේණික වූ ගති ලක්‍ෂණ හා ඊට කළ හැකිදේ හා නොහැකි දේ ගැන ලොව පුරා සාකච්ඡා කර තිබේ. දැනුදු සාකච්ඡා කරනු ලැබේ. උත්පාත, අවපාත හා බිඳවැටීම් ඇතිවන හැටි විමසනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය හා නිෂ්පාදන හැකියා අනුව සීරුමාරු කරනු ලැබූ තරගකාරී වෙළෙඳපොළ අර්ථක්‍රමයක්‌ අපට දැන් අවශ්‍යය. ශ්‍රී ලාංකිකරණය ලෙස අපට කිරීමට ඇත්තේ මෙම සීරුමාරු පමණකි. එනිසා තවදුරටත් එකිනෙකාගේ මාදිලි අතර විශේෂත්වයක්‌ දක්‌නට නැත. මක්‌නිසාද, ආර්ථික හා සංවර්ධන පොදු මාදිලිය දැනටමත් අප අත තිබෙන බැවිනි. එනම් රට ගොඩනගන මාදිලිය සම්බන්ධයෙන් ගත් කල එක්‌සත් ජාතික පක්‍ෂයද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයද, ජනතා විමුක්‌ති පෙරමුණද, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයද යනුවෙන් තෝරා ගැනීමක්‌ දැන් නැත. අවශ්‍ය වන්නේ දූෂණ හා වංචාද, හොරකම හා බොරුවද නැති ගොඩනගන්නෙකි. දූෂණ හා වංචා මැඩපවත්වා යහපාලනයක්‌ පවත්වාගෙන යා හැකි නායකත්වයකි.

මෛත්‍රී – රනිල් සුසංයෝගය

1815 මාර්තු 02 දා උඩරට ගිවිසුමින් මේ රට බ්‍රිතාන්‍යයන් නතු කළායින් පසුව ඇතිවූ තීරණාත්මක සංස්‌ධිස්‌ථානයට 2015 ජනවාරි 08 දා අපි එළඹුනෙමු. 1948 හා 1956 ලොකු වෙනස්‌කම් වූවද ඒවා මෙතරම් තීරණාත්මක නොවීය. මෙතරම් ජව බලසම්පන්න නොවීය. මෙතරම් ප්‍රබල හැරවුම් ලCෂ්‍යයක්‌ නොවීය. පොලොන්නරුවෙන් පැමිණි ජනාධිපති මෛත්‍රීද, කොළඹින් පැමිණි අගමැති රනිල් ද එක්‌ව ගත් කල ඇත්තේ මෙරට ඉදිරියට ගෙන යැමේ භාරදූර වගකීම විශ්වාසයෙන් යුතුව භාරදිය හැකි ආශ්චර්යවත් සුසංයෝගයකි.

තරගකාරී වෙළෙඳපොළ අර්ථක්‍රමය ශ්‍රී ලාංකිකකරණය කිරීම සඳහා කළ යුතුව තිබෙන සීරුමාරු මෛත්‍රී – රනිල් සුසංයෝගයට කළ හැකිය. ඉහතින් දැක්‌වූ පරිදි, දේශපාලන පක්‍ෂවල දර්ශන හා මතිමතාන්තර, අර්ථක්‍රමයේ හා සංවර්ධන මාදිලියේ හැඩරුවට සැලකිය යුතු බලපෑමක්‌ නොකරන නිසා විධායක ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුතු වන්නේ එක්‌ එක්‌ දේශපාලන පක්‍ෂයේ සැරසිලි හා ප්‍රගතිශීලී – ප්‍රතිගාමී චරිත සහතික ගැන නොතකා විශිෂ්ටතම කණ්‌ඩායම තෝරා ගැනීමට ඉඩ සැලසීමයි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිතුමා සිටිය යුත්තේ මධ්‍යස්‌ථවය. විශිෂ්ටතම නායකත්ව කණ්‌ඩායම (මැති ඇමැතිවරු) තෝරා ගැනීම ආරම්භ වන්නේ නාම යෝජනා ප්‍රදානය කරන අවස්‌ථාවේදීය. මහජනයාට සිදුවන්නේ පක්‍ෂවලින් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයන් අතරින් කවර හෝ කෙනකු තෝරා ගැනීමයි. එනිසා දේශපාලන පක්‍ෂවල නායකත්වය විසින් මේ තීරණාත්මක සංධිස්‌ථානයේදී තම යුතුකම වගකීමෙන් ඉටුකළ යුතුය.

මෙහිදී පැන නගින ප්‍රශ්නය වනුයේ මහා මැතිවරණ ව්‍යාපාරයකට උවමනා කරන අති විශාල මුදල් සම්භාරය සොයා ගැනීමයි. මෙහිදී විශාල සල්ලි මලු කර ගසාගෙන එන මත්ද්‍රව්‍ය වැනි අයථා ජාවාරම්වල හා හොර – බොරු – වංචා – දූෂණයෙහි ගැලුන පුද්ගලයන් දෙස යම් කරුණාවක්‌ දැක්‌වීමට නායකයන් පෙලඹෙනු අපි දැක ඇත්තෙමු. නමුත් මේ ජාතික වශයෙන් තීරණාත්මක සංධිස්‌ථානයේදී, එකිනෙකා නැසීමට විශාල ලෙස මුදල් වියදම් කිරීමට සිදුවන තරගය මගහරවා ගැනීමට මෛත්‍රී – රනිල් එකඟතාවක්‌ ඇතිකර ගත යුතුය. මැතිවරණයෙන් පසුව දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතුය. නමුත් ජාතික ආණ්‌ඩුවක්‌ තුළට හොරකම,බොරුව, වංචාව හා දූෂණය නමැති වසංගත ඇතුළු නොවීමට ගත යුතු නිරෝධායන ක්‍රියා මාර්ග ගැනීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින් තබා නොපමාව ඉෂ්ට කළ යුතුය.

කවර තරාතිරමේ විශිෂ්ට කණ්‌ඩායමක්‌ වුවද වරදට පෙළඹීමට ඇති ඉඩකඩ අඩුවෙන් තක්‌සේරු කළ නොහැකිය. මුළුමහත් සමාජයම හැම පැත්තකින්ම වට කරනු ලැබූ තරගකාරීත්වයක හිරවී තිබේ. පාසලකට ළමයකු ඇතුළත් කිරීම, රජයේ රැකියාවක්‌ ලබාගැනීම, රජයේ කොන්ත්‍රාත් ලබාගැනීම, ස්‌ථාන මාරු ලබාගැනීම, රජයේ ඉඩම් ලබා ගැනීම, නොයෙකුත් වාසිදායක ව්‍යාපාරික අවස්‌ථා ලබා ගැනීම යනාදී වශයෙන් ප්‍රබලයකුගේ බලපෑම අවශ්‍ය කරන අවස්‌ථා බොහෝය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ සිට ජනපති දක්‌වා වූ පුද්ගලයන් පසුගිය 35 වසර තුළ කළ දේවලින් මේ බව ඔප්පු වී ඇත ප්‍රබලයාගේ භූමිකාව ඉටු කරන්නට යන විට විශිෂ්ටයන්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව හොර, බොරු, වංචා, දූෂණ දැලට වැටෙති. කෙළෙසුන් කෙරෙන් දුරුවූ කෙනකු නැත. එනිසා ඉහත කී හා නොකී සකලවිධ සමාජ ආර්ථික කාරණාවලදී “ප්‍රබලයන්ගේ” අතපෙවීම අවශ්‍ය නොවන පරිසරයක්‌ ඇති කිරීම පිණිස වහාම ප්‍රතිසංස්‌කරණය ව්‍යාපාරයක්‌ දියත් කළ යුතුය. මේ ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ අත්‍යවශ්‍යම අංගයන් වනුයේ රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්‌කරණය. රාජ්‍ය ප්‍රතිපත්ති කාර්යක්‌ෂමව ක්‍රියාවට නැංවීම අරමුණු කරගත් රාජ්‍ය පරිපාලනයේ නව මාදිලියක්‌ තැනීමය. අතනින් මෙතනින් පැලැස්‌තර දැමීම නොව නව මාලිදියක්‌ තැනීමය. පවත්නා පරිපාලන යන්ත්‍රය තුළ විරාජමාන වන ඇතැම් පිරිස්‌ නිසැක ලෙසම ප්‍රතිසංස්‌කරණ විරෝධී වනු ඇත. එසේ වුවද රටට වුවමනා ඈත දුර දිග යන මේ මහා ප්‍රතිසංස්‌කරණය එම ප්‍රතිවිරෝධ මැඩගෙන ක්‍රියාත්මක කළ යුතුය. එවැන්නක්‌ කළ හැකි වන්නේ මෛත්‍රී, රනිල් එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්‌ඩුවකට පමණි. මක්‌නිසාද මෙතෙක්‌ පැවැති පාලන ක්‍රම යටතේ එක්‌ පක්‌ෂයකින් මුල පුරන ලද කවර හොඳ වැඩකට වුවද විරෝධතා දක්‌වන කණ්‌ඩායම් දඩමීමා කරගෙන අනෙක්‌ පක්‌ෂය බලයට එන්නට ක්‍රියා කළ බැවිනි.

විනය හා යහගුණය

යහගුණයෙන් යුත් විනයානුකූල දේශපාලන කණ්‌ඩායමක්‌ සකස්‌ කර ගැනීම ආරම්භ කළ යුතු වන්නේ දේශපාලන පක්‌ෂය ඇතුළතිනි. මේ සඳහා පක්‌ෂය තුළ මනා සංවිධාන ව්‍යqහයක්‌ තිබිය යුතුය. පක්‌ෂයට බඳවා ගැනීමේ අවස්‌ථාවේ සිට පක්‌ෂය තුළ විවිධ තරාතිරම්වලට පත්වී ඉහළට නැඟීම සිදුවන ආකාරය මේ සංවිධාන ව්‍යqහයේ පැහැදිලි විය යුතුය. දේශපාලන පක්‌ෂ තුළ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්විය යුතුය. කිසියම් දේශපාලන දර්ශනයක්‌ උඩ ගොඩනංවනු ලබන දේශපාලන පක්‌ෂයක විනය හා ඒකාග්‍රතාව පවත්වාගෙන යැමට එම දර්ශනය උපකාරී වේ. හරි වැරැද්ද හඳුනා ගැනීමේ දර්ශනය ලෙස එකී දර්ශන යොදා ගත හැක. එහෙත් දැන් එවැනි දර්ශනයක්‌ කිසිම දේශපාලන පක්‌ෂයකට නොතිබෙන තරම්ය. එබැවින් දැන් කාගේත් දර්ශනය කරගත යුත්තේ පොදු ජනහිතකාමය, වැඩ කිරීමේ විනය හා යහගුණයයි.

කිසියම් දේශපාලන දර්ශනයක්‌ වැළඳගත් පක්‌ෂයකින් කෙනකු ඉවත් වන්නේ එම දර්ශනය පිළිබඳ ඔහුට ගැටලුවක්‌ ඇති වූ විටය. නැතහොත් එම දර්ශනය මත ගොඩනඟන්නට යන ජාතික ආර්ථික හා සාමාජික මාදිලිය ගැන ගැටලු ඇති වූ විටය. එවන් තත්ත්වයක්‌ තුළ පක්‌ෂ මාරුව හා නව පක්‌ෂ හා කණ්‌ඩායම් සෑදීම සිදුවූයේ වැදගත් හේතු සාධක මතය. හැත්තෑව දශකය තෙක්‌ මේ තත්ත්වය දක්‌නට ලැබිණි. නමුත් කිසිම දේශපාලන පක්‌ෂයකට දේශපාලන දර්ශන හා මතවාද සමඟ බැඳීමක්‌ (ප්‍රචාරක අවශ්‍යතා සඳහා හැරුණ විට) දැන් නොමැති බැවින් අද දක්‌නට ලැබෙන පක්‌ෂ හා පිල් මාරුව ද කණ්‌ඩායම් ගැසීම ද හුදෙක්‌ ආත්මාර්ථය සඳහා හෝ කලකිරීම නිසා සිදු වන්නකි. මෙම පිල්මාරු සිදුවන්නේ වැඩි වැටුප්, බෝනස්‌ හා වරප්‍රසාද ලබා ගැනීමට එක්‌ ඉදිකිරීම් සමාගමකින් ඉවත්ව වෙනත් සමාගමකට බැඳෙන්නාක්‌ මෙනි.

වංචා ත්‍රිකෝණය

හොර, බොරු, වංචා, දූෂණ එකිනෙක හා ගැට ගැසී ඇති ක්‍රියාවන්ය. මෙහිදී අපට වංචා ත්‍රිකෝණය (FRAUD TRIANGLE) යනුවෙන් හැඳින්වෙන විශ්ලේෂණ ක්‍රමවේදය දැන ගැනීම ප්‍රයෝජනවත්ය. වංචාවන්ට පොළඹවන හා වංචා සිදුකිරීමට ඉඩ සලසන ප්‍රධාන උපනතීන් තුනක්‌ ත්‍රිකෝණයෙන් දැක්‌වේ. ඒවා නම් (1) දිරිගැන්වීම හා බලපෑම, (2) ඉඩ ප්‍රස්‌ථාව හා (3) ආකල්ප හා සාධාරණීකරණයයි. යම් නියමිත ප්‍රතිඵලයක්‌ ළඟාකර නොගැනීමේ හේතුවෙන් කෙනකුට අහිමිවන්නට ඉඩ තිබෙන යම් ප්‍රතිලාභයක්‌ සාවද්‍ය ලෙස ලබා ගැනීම පිණිස සැබෑ පින්තූර වෙනස්‌ කර නොලැබූ ප්‍රතිඵලය ලැබුණු ලෙස හුවා දැක්‌වීමට කෙනකුට තමාගේ චිත්තාභ්‍යන්තරයෙන්ම හෝ බාහිරින් බලපෑමක්‌ ඇති වේ. ප්‍රතිලාභයට ඇති කෑදරකම, වංචනික ලෙස පින්තූර වෙනස්‌ කිරීම සඳහා වන දිරි ගැන්වීමකි. මේ උපනතිය මගින් ඇති කරන වංචනික ක්‍රියාවන් වන්නේ සංඛ්‍යා ලේඛන හා වාර්තා වෙනස්‌ කිරීමයි. නිසි පසුවිපරමක්‌ හා අධීක්‌ෂණයක්‌ නොමැති විටද සෙවීමට හා බැලීමට පත්කර ඇති පුද්ගලයන් අක්‍රියකර ඇති විටද වැඩ බෙදීමක්‌ නැතිව තනි පුද්ගලයකු හෝ සහචර කණ්‌ඩායමක්‌ මගින් වැඩක මුල සිට අග දක්‌වා සියලු දේ කරනු ලබන විට ද කරන්නන් හා බලන්නන් එකම පාර්ශ්වයක්‌ හෝ නොඑසේ නම් එකම පාර්ශ්වයක අණසකට යටවී ඇත්නම් ද හොරකමට හා වංචාවට අනේකවිධ ඉඩ ප්‍රස්‌ථා විවර වේ. හොරකම හා වංචාව පිළිබඳව පුද්ගලයන්ගේ ආකල්ප “අරයත් කරනවා නම් මමත් මොකද” යන සාධාරණීකරණය ඉහළම මට්‌ටමින් ලැබෙන ආදර්ශය හා ඉහළම තැතින් නිකුත් වෙන දූෂණ විරෝධී නොවන ලිහිල් ප්‍රතික්‍රියාව හොරකමට හා වංචාවට අනුබල දේ.

දූෂණයට ඉඩ සැලසෙන හා පෙළඹෙන (වංචා ත්‍රිකෝණයේ දැක්‌වෙන) හේතු කාරක පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් නොසිටියහොත් කවර තරාතිරමක විශිෂ්ට කණ්‌ඩායම වුවද දූෂණයට ගොදුරුවීමට ඇති ඉඩ අවතක්‌සේරු කළ නොහැකිය එම නිසා මැතිවරණයකින් පසුව පිහිටුවන කවර ආණ්‌ඩුවක වුවද ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ආණ්‌ඩුක්‍රම සංශෝධන ඇති කළ යුතුය. සමස්‌ත ජනතාව හා රට නියෝජනය කෙරෙන බහුජන සංවිධාන පණ ගැන්වෙන දේශපාලන හා සමාජ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියක්‌ ආරම්භ කළ යුතුය.

ආර්. ඒ. ජයවීර
වරලත් ගණකාධිකාරී

Source: Divaina Online Edition