රටේ හාල් මිල ඉහළ යන ආකාරයට අප මෙතෙක් දවසක් සිතා සිටියේ සහල් මිල පාලනය කරන්නේ බත් වෙනුවට තණකොළ බුදින පිරිසක් බවය. එය එසේ නොවන බව පසුගියදා පළවූ ප්‍රවෘත්තියකින් කියෑවී තිබිණි. ඒ, මත්තල ගබඩා කර තිබූ වී තොග මධ්‍යසාරවලට විකිණීමේ පුවතයි. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ පිරිස තණකොළ පමණක් නොව පුන්නක්‌කුද කන වතුර වෙනුවට මධ්‍යසාර ද පානය කරන අං දෙකක් තිබියේ නම් ඇනීමට වුව සූදානම්, කකුල් දෙකේ කේප්ප හරක් බවය.
පසුගිය දිනවල මත්තල ගබඩා කර තිබූ වී තොග ලහි ලහියේ ඉවත් කරන බව කීවේ එය ගුවන්තොටුපළක ගබඩා කර තැබීම නුසුදුසු බව කියමිනි. ඒ අනුව මත්තල ගුවන්තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්‍රක් ටොන් 4700 ක් පමණ වූ තොගයක් මධ්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මධ්‍යසාර සමාගමකට විකූණා තිබේ. ආරංචිය එන්නේ වී අලෙවි මණ්‌ඩලය පැත්තෙනි. වඩාත්ම ගැටලු සහගත තත්ත්වය වන්නේ සහල් මිල දැරිය නොහැකි තරමට ඉහළ ගොස් තිබියදී මේ වී තොග මධ්‍යසාර සඳහා විකුණා දැමීමය.
වී තොගය විකුණා ඇත්තේ කිලෝව රුපියල් 42 බැගිනි. මිල ගණන් කැඳවීමේදී වෙනත් සමාගමක් රුපියල් හතළිහට වී කිලෝවක් ඉල්ලා තිබූ නමුත් වැඩිම ඉල්ලුමට වී තොගය ලබා දුන් බව කියන්නේ අමාත්‍ය වරයකි. අවාසනාවකට මෙන් වෙඩි වැදුණු දේශපාලනඥයන්ට වැළඳෙන සුලභ රෝගයක් වන “අමතක වීමේ” රෝගය වෙඩි නොවැදුණු මුත් ඔහුට ද වැළඳී තිබේ. ඒ නිසා අදාළ සමාගමේ නම ඔහුට අමතක වී තිබේ. ගරු ඇමැතිවරයා හාස්‍ය උපදවන කතා කීමේ සමතෙකි. එහෙත් මේ කතාවට අපට සිනහ පහළවන්නේ නැත. අදාළ සමාගමේ නම වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාට ටක්‌කෙටම මතක ඇතුවාට සැක නැත. එහෙත් කරුමෙට මෙන් ‘දිවයින’ පුවත්පත මේ ගැන ඔහුගෙන් විමසන දිනයේ කනේ අමාරුවක් නිසා දුරකථනයට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටි බවක් පෙනේ.
මධ්‍යසාර සඳහා වී තොග මෙලෙස අලෙවි කරන්නේ සහල් මිල “බත්” එපා කරවන මට්‌ටමෙන් ඉහළ ගොස් ඇති මොහොතක බව අපි කීවෙමු. සාමාන්‍ය සම්බා කිලෝවක් මේ වන විට රුපියල් අනූවක් තරම් මිල වේ. තරමක් හොඳ සම්බා කිලෝවක් රුපියල් 125 කට වැඩිය. සාමාන්‍ය සුදු හාල් කිලෝව රුපියල් හැත්තෑවකි. රජය සහල් සඳහා පාලන මිලක් පනවා තිබුණ ද වී ගොවියාගෙන් පුද්ගලික අංශය වී මිලදී ගන්නේ කිලෝව රුපියල් 20-30 ත් අතර ගණනකටය. ගොවීන්ගෙන් එලෙස අසමඡ්ජාති ලෙස කුණුකොල්ලයට වී ලබාගෙන තොග රැස්‌කර සහල් අධික මිලට විකිණීමෙන් මෝල් හිමියන් සුපිරි ලාභ ලබති. වැඩි මිලට සහල් විකිණීම ගැන පාරිභෝගික අධිකාරිය ද හාවක් හූවක් නැත. අපි නැවතත් කියමු. වී තොග මධ්‍යසාරවලට විකිණෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළය.
රටේ ජනතාවට කන්නට තිබෙන සහල් කරගත හැකි වී ටික මධ්‍යසාර සඳහා විකිණීම පොලොන්නරුවේ ගොවි පවුලකින් පැමිණි බතේ මහිම දන්නා, මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෑයම ද හෑල්ලුවට ලක් කිරීමකි. අප නිසැකවම දන්නා පරිදි මේ වී තොග අතිරික්‌තයන් නොවේ. මෙවැනි අඳබාල ක්‍රියාවලියකින් පසුව සහල් හිඟයක් මතුවුව හොත් පිටරටින් සහල් ආනයනය කරන්නේ මධ්‍යසාරවලට විකිණූ මිලට වඩා වැඩි මිලක් කිලෝවකට ගෙවමින් බව අවධාරණය කළ යුතුය.
රටේ වාර්ෂික වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 65 කි. ඒ යල කන්නයට මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තිහක්‌ද, මහ කන්නයට මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තිස්‌පහක්‌ද ලෙසය. ඇත්ත වශයෙන්ම රජය මෙයින් මිලදී ගන්නේ සියයට පහක වැඩිම වුණොත් හයක ප්‍රමාණයකි. මෙරට නිෂ්පාදිත වී අස්‌වැන්නෙන් ඉතිරි සියයට 94-95 ම මිලදී ගන්නේ පුද්ගලික අංශයයි. පුද්ගලික අංශය වී මිලදී ගත් පසුව තත්ත්වය කොයි ආකාරයෙන් ද යන්නට නිදසුන වත්මන් සහල් මිලය.
මධ්‍යසාරවලට විකිණීම නොව වී මිලදී ගැනීම සහ පාරිභෝගිකයා අතට සහල් ලැබෙන ආකාරය මීටත් වඩා ඵලදායි විධිමත් ලෙසින් සකස් විය යුතුය. නැතිනම් ඉදිරියේදී සිදුවන්නේ වී ගොවිතැනක් නැති, වවන්නට මිනිහෙකුත් නැති රටක පාන්පිටි සමාගම්වලට නියවන්නටය. හාල් ටික මධ්‍යසාරවලට දී පාන් සමඟ වයින් (අරක්‌කු) බොන්නටය.
– Divaina